කොටි ත්රස්තවාදීන්ගේ සිද්ධිවලට අදාළව නඩු කටයුතු විභාග කිරීම සඳහා ස්ථාපනය කරන ලද මහාධිකරණය විසින් ප්රථම වරට කොටි සාමාජිකයෙකුට දඬුවම් පමුණුවනු ලැබීය.
හදිසි අවස්ථා රෙගුලාසි යටතේ පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් වරද පිළිගන්නා ලද ත්රස්තවාදී සැකකරුවෙකුට වසර තුනක සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ කොමසාරිස් අයිරාංගනී පෙරේරා මහත්මිය එම දඬුවම වසරක කාලයකින් ගෙවීයන ලෙස ක්රියාත්මක කරන ලෙසද, එම කාලය තුළ විත්තිකරු පුනරුත්ථාපනයට ලක්කරන ලෙසද නියම කළාය.
මෙලෙස දඬුවම් නියම වූයේ කොළඹ 11, ජම්පටා වීදියේ පදිංචි බාලචන්ද්රන් පුෂ්පරාජ් හෙවත් සින්නා නැමැත්තාටය.
2007 අගෝස්තු 18 වැනිදා මෝදරදී ටී 56 වර්ගයේ තුවක්කුවක්, ජීව පතොරම් 30 ක් හා අත් බෝම්බයක් ළඟ තබාගත් බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවැති මෙම නඩුව ත්රස්තවාදී නඩු ඇසීම සඳහා ස්ථාපනය කරන ලද විශේෂ මහාධිකරණයට යොමු කළ මුල් අවස්ථාවේදීම විත්තිකරු අදාළ චෝදනාවට වරද පිළිගත්තේය. ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා තුනට එක් චෝදනාවකට වසර බැගින් වසර තුනක සිර දඬුවමක්ද, එක් චෝදනාවකට රුපියල් දහස බැගින් රුපියල් තුන්දහසක දඩයක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිර දඬුවම වසරක කාලයකින් ගෙවී යන ලෙස ක්රියාත්මක කිරීමට නියම කළාය.
මෙම ත්රස්තවාදී නඩු විමසීම සඳහා ස්ථාපනය කරන ලද විශේෂ මහාධිකරණයේ ප්රථම වරට දඬුවම් කරන ලද්දේ මෙම නඩුවටය.