කුමන හෝ අන්තවාදයකින් ලබන ජයග්‍රහණයක් නොමැති බවත්, ඕනෑම ප්‍රශ්නයකට විසඳුම සාකච්ඡාව බවත් බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. ශාසනාරක්ෂක සභාව වශයෙන් බෞද්ධ සංවිධාන කිහිපයක් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යවරයා සමග ඊයේ (22දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව උන්වහන්සේ මේ බව පැවසූහ.
බුද්ධශාසන අමාත්‍යවරයා බෞද්ධ සංවිධාන සමග ඉතාමත් යහපත් සාකච්ඡාවක් පැවැත්වූ අතර, එය දීර්ඝකාලයක් බලාපොරොත්තුවෙන් සිටි සාකච්ඡාවක් බවද උන්වහන්සේ පැවසූහ. එමෙන්ම තම සංවිධානයන් ඉදිරියේදී මෙම ප්‍රශ්න පිළිබඳ වැඩි වශයෙන් සාකච්ඡා පවත්වා විසඳාගැනීමට බලාපොරොත්තු වන බව පැවසූ ඥානසාර හිමියෝ, "බුද්ධ ශාසන ඇමතිවරයා විදිහට අපට වහාම අවස්ථාවක් ලබාදුන්නා සාකච්ඡාවකට. ඒ සඳහා සියලුම සංවිධාන නියෝජනය කරන හාමුදුරුවරු සහභාගි වුණා. ඉතාම හොඳ සාකච්ඡාවක් පවත්වාගන්න අපට හැකියාව ලැබුණා. මේ අපි බොහොම දීර්ඝකාලයක් බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක්. මොකද අපි ප්‍රශ්න ගැන කිව්වත් අහන්න කෙනෙක් හිටියේ නැහැ.
අපි විශ්වාසය තබන්නේ සංවාදය ගැන පමණයි. ඕනෑම යහපත් සාර්ථක විසඳුමකට එන්න පුළුවන් යහපත් සංවාද තුළින්. මොනම හෝ අන්තවාදයකින් අපි ලබන ජයග්‍රහණයක් නැහැ. සංවාදයෙන් ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න එක තමයි අපට තිබෙන හොඳම පියවර. අපට තිබෙන ප්‍රශ්න සාකච්ඡාවෙන් විසඳාගන්න ඇමතිතුමා අපට අවස්ථාව දුන්නා. අපි එතුමා ගැන විශ්වාසය තබනවා" යනුවෙන්ද සඳහන් කළහ.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රජපක්ෂ මහතා පැවසුවේ බෞද්ධ සංවිධාන සමග මෙන්ම අනෙකුත් ආගමික සංවිධාන සමගද තමා සාකච්ඡා කිරීමට සූදානම් බවයි. සියලුම ආගමික, ජාතික සංවිධාන සමග සාකච්ඡා අවසානයේ සියල්ලන්ටම එකම සාකච්ඡාවකින් විසඳුම් ලබාගැනීමට හැකිවනු ඇති බවට තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා කීය.වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා,
"වර්තමානයේදී රට තුළ ආගමික වෙනස් වීම් මත නොයෙකුත් කණ්ඩායම් විසින් යම් යම් මතවාද ඇති කරමින් පැවතුණා. එහි ප්‍රතිඵලය ඉතාම භයානක එකක් විය හැකි නිසා රටේ අවධානයට යොමුකළා. ඒ අනුව බොහෝ පාර්ශ්වයන් තමන්ගේ මතය ඉදිරිපත් කරන මොහොතක ඕනෑම ප්‍රශ්නයක් සාමයෙන් සාකච්ඡාවෙන් විසඳාගත යුතුයි. ප්‍රශ්න මතුවෙන්නේ ජන කොටස් අතර තිබෙන අවිශ්වාසය හේතුවෙන්. ඒක තමයි මේකට තිබෙන ප්‍රධාන කාරණය. ඒ නිසා මේ සියලු කාරණාවල තිබෙන ගැටලු ප්‍රශ්න හඳුනාගත යුතුයි. සාකච්ඡා කළ යුතුයි. ඒ ආකාරයට සාකච්ඡා කිරීම තුළ අපට පුළුවන් වෙනවා සියලු දෙනා එකම මේසයකට ගෙනවිත් සමගියෙන් මේ ගැටලු විසඳාගන්න.
මේ වගේම අනික් පාර්ශ්ව සමගත් සාකච්ඡා කරනවා. ඔවුන් ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කරාවි. මේ සියලුම ගැටලු ගෙන ප්‍රමුඛතාව මත විසඳාගැනීම තමයි අපේ අරමුණ වී තිබෙන්නේ. ඒ කටයුත්ත සාර්ථකව ඉටුකරවාගැනීමට හොඳ පරිසරයක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා" යැයි කීය.