තමා කිසිදු කෙනෙකුට යටත් නොවන බවත් කිසිවෙකුට බැඳීමක් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. කොළඹ පදනම් ආයතනයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ ඒකකය හා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව දේශපාලන න්‍යාය පත්රවලට කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවද සිරිසේන මහතා සඳහන් කළේය.
“අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවෙන් නාවික හමුදාපතිවරු උසාවියට ගෙනියනවා. මෙම සිදුවීම බොහොම බරපතළ ලෙස දේශපාලන වාසි ගන්න ඇතැම් අය කටයුතු කරනවා. මම මේ රටේ ජනපති වුණෙ උසාවියට කෝල් දෙන්න නෙමෙයි. මම මේ රටේ ජනපති වුණේ ස්වාධීන කොමිෂන් සභාවලට ඇඟිලි ගහන්න නෙමෙයි. මේ රටේ මහජනයා මා කෙරෙහි විශ්වාසයක් තියෙනවා.
ජනවාරි 08 දා මාව ජනපති වශයෙන් පත්කර ගත්තෙ කන්න අදින්න විතරක් නෙමෙයි. පාර හදල දෙන්න කියල නෙමෙයි. වෙනත් රට තුළ කළ යුතු දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න. නීතිය, සාමය ආරක්ෂා කරන්න. මේවා කරද්දී මම කිසිම කෙනෙකුට යටත් වෙන්නෙත් නෑ. කිසිම කෙනෙකුට බැඳීමකුත් නෑ.
මම ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැඳිලා තියෙනවා. ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කිරීම, ත්‍රිවිධ හමුදාවේ ගෞරවය ආරක්ෂා කිරීම, ත්‍රිවිධ හමුදාවට පහසුකම් දීම රජයක් කළ යුතුයි. මම කිසිවිටෙක හමුදාව දුර්වල කරන්න දෙන්නෙ නෑ. එක නඩුවක් තියෙනවා. හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් මාස 16ක් තිස්සේ රිමාන්ඩ් කරලා. වැරැද්දක් කරලා තියෙනවානම් නඩු පවරන්න ඕන. එහෙම නැත්නම් නිදහස් කරන්න ඕන.
මේවා මම විවෘතව කතා කළේ නෑ. විවෘතව තීරණ ගන්නත් වෙනවා. මම අගමැතිතුමා හා ආණ්ඩුවේ ඇමති මණ්ඩලයත් මග තිබුණ සාකච්ඡාවකදී මේ ගැන කිවුවා. සී.අයි.ඩී. එක, එෆ්.සී.අයි.ඩී එක අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්රවලට කටයුතු කරනවානම් ඒ සම්බන්ධව මටත් තීන්දු තීරණ ගන්න වෙනවා.” යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.