(UPDATE) ඉරාකයේ කිර්කුක් නගරයට එල්ල කළ IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත ප්රහාරයෙන් මියගිය පිරිස 19 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඔවුන් නගරයේ රජයේ ගොඩනැගිලි රැසකට ප්රහාර එල්ල කර ඇති අතර, විශේෂයෙන් පොලිස් ස්ථාන ඉලක්ක කර එල්ල කළ ප්රහාරවලින් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම, ඉදිකෙරෙමින් පවතින විදුලි බලාගාරයක සේවය කරමින් සිටි ඉදිකිරීම් ශිල්පීන් 13 දෙනෙකුද මෙම ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
එමෙන්ම, මෙම ප්රහාරයෙන් ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් 12 දෙනෙකුද මරා දැමුණු බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
(02.15pm) IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් ඉරාකයේ කිර්කුක් නගරයේ පොලිස් ස්ථාන හා රජයේ ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කරමින් ඒකාබද්ධ ත්රස්ත ප්රහාරයක් එල්ල කරමින් සිටියි.
ඉරාකයේ මොසුල් නගරයේ ඉස්ලාම් රාජ්ය බලය අඩපණ කරමින් නගරය යළි අත්පත් කරගැනීම සඳහා ඉරාක හමුදා ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ සහාය ඇතිව සිදුකරන මෙහෙයුම් තීව්ර වත්ම, එම නගරය ආසන්නයේ වූ කිර්කුක් නගරය වෙත මෙම ප්රහාරය දියත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් පොලිස් ස්ථාන හතරක් වෙත ප්රහාර එල්ල කර ඇති අතර, කුර්දි සටන්කාමීන් වෙතද ප්රහාර එල්ල කර තිබේ. එමෙන්ම, ඔවුන් සිවිල් වැසියන් සිටින ප්රදේශ වෙතද ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ප්රහාරයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටියත්, ඒ කොපමණ ප්රමාණයක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත. එමෙන්ම, මෙම ප්රහාරයෙන් පිරිසක් ප්රාණ ඇපයේ සිටින බවටද විදෙස් වාර්තා පැවතියත්, එම පුවත් මෙතෙක් තහවුරු කර නොමැත.
කිර්කුක් නගරය මොසුල් නගරයට කිලෝමීටර් 175ක් නිරතදිගින් පිහිටා ඇති අතර, මෙම ප්රහාරයත් සමග ප්රදේශය පුරා ඇඳිරි නීතිය පැනවීමට බලධාරීහු කටයුතු කර තිබේ.
මීට පෙරද කිර්කුක් නගරය වෙත ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් ප්රහාරයක් එල්ල කළ අතර, ඔවුන් එවර නගරයේ බලය තහවුර කරගැනීමට උත්සාහ කළේය. මෙවර, ඔවුන්ගේ අරමුණ මොසුල් ප්රහාරයේ තීව්රතාව මැඩපැවැත්වීම හා එහි වේගය අඩාල කිරීම බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.