ජනාධිපතිවරයාද හෘද සාක්ෂියට එකඟ නොවන කැසිනෝ පනතට සම්බන්ධව රහස් ඡන්දයක් තබන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත්, එම රහස් ඡන්දයේදී පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කරන ලෙසට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ඊයේ (23දා) ඉල්ලීමක් කළහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්, බුදුදහමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති වලටත් විරුද්ධ වී ගෙන එනු ලබන කැසිනෝ පනත ඉවත දැමීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.
භික්ෂුන් වහන්සේලාගේ මූලිකත්වය දී පත්කරගත් වත්මන් ජනාධිපතිවරයා පිළිබඳව භික්ෂුන් වහන්සේලාට විශ්වාසයක් ඇතැයි පැවසූ සෝභිත හිමියෝ එම විශ්වාසය කඩ නොකරන ලෙසද සඳහන් කළහ.
කෝට්ටේ නාග විහාරයේදී ඊයේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මාදුළුවාවේ සෝභිත හිමියෝ මෙම අදහස් දැක්වූහ.
“මේක බුදුදහමට විරුද්ධයි. ජනාධිපතිවරයා අදහන ධර්මයට විරුද්ධයි. උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. රටේ ජනතාව විරුද්ධයි. ඉතිං ඇයි තවත් බලා ඉන්නේ කියලා අපි අහනවා". යනුවෙන් උන්වහන්සේ පැවසූහ.
“මේක ප්රජාතන්ත්රවාදී රටක්. කැසිනෝ වලට සියලු දෙනාම අද එරෙහි වෙලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලන්නේ ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් මේ ජනතා හඬට කන්දෙන්න කියලායි" යැයි ද එහිදී සෝභිත හිමියෝ අවධාරණය කළහ.
ඡයාරූප ශමීර රාජපක්ෂ