රත්නපුර නගරයේදී රත්නපුර පොලීසියේ පොලිස් නිලධාරියෙකු සිදුකළ පහරදීමට එරෙහිව රුපියල් කෝටි 05ක වන්දි මුදලක් ඉල්ලා අද (02දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව රත්නපුර නගරයේදී පොලිස් නිලධාරියෙකුගෙන් පහර කෑමට ලක්වූ වීරසිංහ ආරච්චිලාගේ කාන්තිලතා මහත්මිය සඳහන් කළාය.
එම මුදල තමා වෙත ලැබුණහොත් එම මුදලින් වැඩි කොටසක් යොදවා තමාට සේ කාන්තාවන්ට සිදුවන අසාධාරණයන් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට යොදවන බවද ඇය පැවසුවාය.
රත්නපුර නගරයේදී සිදුකළ පහරදීම පිළිබඳව එදිනම රත්නපුර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, එහෙත් පොලීසිය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවද ඇය සඳහන් කළාය.
එවැනි තත්ත්වයක් තුළ තමාගෙන් කටඋත්තරයක් ගැනීමට පොලීසිය සොයන බවට මාධ්‍යයෙන් දැනගැනීමට ලැබුණු බවත් එහෙත් පහරකෑමට ලක්වීමෙන් පසුත් දිගටම රත්නපුර නිවසේ රැඳී සිටි බවද ඇය පවසා සිටියාය.
මෙවැනි චෝදනා එල්ල කිරීම පිළිබඳව සහ තමාට සිදුවූ අසාධාරණය තව කෙනෙකුට සිදුනොවන ලෙසට කටයුතු කරන ලෙසට ඉල්ලා ඊයේ (02දා) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ඇය සඳහන් කළාය.
මේ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ රත්නපුර පොලීසියේ ස්ථානාධිපතිවරයා නම් කළ බවද, මීට අමතරව අද දිනයේදී රුපියල් කෝටි 05 ක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද ඇය පැවසුවාය.