ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ලේකම් නිශාන්ත රණතුංග මහතාට තම තනතුරින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝගකර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා සභාපතිවරයාගේද බලතල ඉක්මවා ගොසින් තම අභිමතය පරිදි කටයුතු කරන බවට ශ්‍රී ජනාධිපතිවරයා දැනුම්වත්ව ඇති අතර, තමන් නිකුත්කළ නියෝග නැවත ලේකම්වරයා නිකුත් කිරීමෙන් ක්‍රිකට් සභාපතිවරයා දැඩි ලෙස දැඩි ලෙස කළකිරීමට පත්ව සිටින බවද වාර්තාවෙයි.
කෙසේ නමුත් රණතුංග මහතාට චෝදනා එල්ලවූ සෑම අවස්ථාවකදීම ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත්වී එම ගැටළු සමථයට පත්කර ඇතැයි වාර්තාවේ. ලේකම්වරයාට තනතුරින් ඉල්ලා අස්වෙන්නට යැයි දැනුම් දුන් අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සඳහන් වැඩ කටයුතු පමණක් ඉටු කරන බවට පොරොන්දු වී ලේකම්වරයා තනතුරේ රැඳී සිටීමට අවසර ගත්තද ඉන් දින කීපයකට පසු ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා අබිබවා යමින් ඔහුගේ තීරණයක් අතික්‍රමණය කරන්නට ලේකම්වරයා කටයුතු කර තිබිණි.
මෙම ගැටලුව ඇති වී තිබෙන්නේ ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබා දීමට ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් වෙත යැවූ ලිපියක් හේතුවෙනි. මේ සම්බන්ධයෙන් සභාපතිවරයා දැඩි නොසතුටට පත් වී ඇති අතර අගෝස්තු 08 වැනිදා ඔහු විසින් සාමාජිකයන්ට ලිපියක් යොමු කරමින් ලේකම්වරයා කියන ලෙසට නොව තමන් කියන ලෙසට කටයුතු කරන්නැයි දන්වා තිබේ.
ඒ අනුව මේවන විට උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විධායක කමිටු රැස්වීමක් අද (14දා) ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම සාකච්ඡාවට සහභාගීවන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ප්‍රධාන ලේකම්, උපලේකම්, උපසභාපති, භාණ්ඩාගාරික, උපභාණ්ඩාගාරික, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය යන කිහිප දෙනෙකු පමණක් බව වාර්තාවේ.