පුලතිසිපුර ලක්ෂ උයන ගොවි ජනපදයේ ඉපිද ලොව දිනන්නට සමතෙකු ලෙස හැදීවැඩුණු මෛත්‍රීගේ දෙමාපියෝ සියනෑ කෝරළයේ ගණේමුල්ල ප්‍රදේශයෙන් රජරට ගොවිබිම් වෙත සංක්‍රමණය වූවෝය. දෛවෝපගත ලෙස, මෛත්‍රීගේ උපත සිදුවූයේ 1951 සැප්තැම්බර් 02 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිල වශයෙන් ආරම්භ වී හෝරා කිහිපයක් ගෙවී ගිය තැනය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරෝගාමී නායකයා වන බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනය වන ජනවාරි 08 වැනිදා සමස්ත විපක්ෂයේ මහා සම්මත අපේක්ෂකයා වන මෛත්‍රී, ජනාධිපතිවරයා ලෙස ජනතා ඡන්දයෙන් පත්වනු ඇත්තේ රාජධානි යුගයෙන් පසුව රජරටින් බිහිවන පළමු රාජ්‍ය නායකයා වශයෙනි.
මෛත්‍රීගේ පියා දෙවැනි ලෝක යුද සමයේ සක්‍රිය හමුදා සේවයේ යෙදුණු නිලධාරියෙකි. මව පාසල් ගුරු මාතාවකි. 1940 දශකයේ අගභාගයේදී මෛත්‍රීගේ පියා සිය පවුලේ සාමාජිකයන්ද සමග පොළොන්නරුවට පැමිණියේ සේවාමුක්ත හමුදා නිලධාරීන්ට ඩී.එස්. සේනානායක රජයෙන් ලබාදුන් ගොවිබිම් අස්වැද්දීමටය.
පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයේ සහ පසුව පොළොන්නුවර රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටි අවදියේදීම සමාජ හා දේශපාලන කරුණු පිළිබඳ මෛත්‍රී තුළ තිබූ සහජ උනන්දුව හා කුතුහලය න්‍යායාත්මක දේශපාලන අවබෝධයක් බවට පත් කරගැනීමට මෛත්‍රීට ඉවහල් වූයේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලෙහි නායක ශන්මුගදාසන් සහෝදරයාගේ ඇසුරයි. සමාජවාදී දෘෂ්ටියෙන්ද සහජ නායකත්ව ගුණයෙන්ද හෙබි මෛත්‍රී නම් පාසල් ශිෂ්‍ය නායකයා පොළොන්නරුව ශ්‍රී.ලං.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ මහතාගේ ඇරයුමෙන් පොළොන්නරුව ශ්‍රී.ලං.නි.ප. තරුණ සංවිධානයේ ලේකම් ධූරයට පත් වනවිට ඔහුට වයස අවුරුදු 17 ක් පමණි. පසුව 1971 කැරැල්ල සමයේදී මඩකලපුව බන්ධනාගාරය තුළ මෛත්‍රීට සිරබත් කන්නට සිදුවූයේ ඔහු පාසලේදී පෙන්වූ සහජ ප්රගතිශීලී තරුණ නායකයත්ව ගුණාංගය නිසාමය.
බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණි මෛත්‍රී අනුර බණ්ඩාරනායක මහතා නායකත්ව දුන් සමස්ත ලංකා ශ්‍රී.ලං.නි.ප. තරුණ සම්මේලනය තුළ සක්‍රිය භූමිකාවක් ඉටුකරමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. තරුණ අවදියේදී රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන කිහිපයක සේවය කළ මෛත්‍රී 1978 වර්ෂයේදී ඒ සියල්ලෙන් ඉවත්ව ශ්‍රී.ලං.නි.පයේ පූර්ණ කාලීන ක්‍රියාකාරිකයෙකු ලෙස නව දේශපාලන ගමනක් ඇරඹීය.
1981 වනවිට ශ්‍රී.ලං.නි.ප. තරුණ සම්මේලනයේ සභාපති ධුරය අනුර බණ්ඩාරනායක මහතා විසින්ද, ලේකම් ධුරය බැසිල් රාජපක්ෂ මහතා විසින්ද භාණ්ඩාගාරික ධුරය මෛත්‍රී විසින්ද දැරූ අතර, 1982 ජනාධිපතිවරණය අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා එ.ජා.පයට එක්වූ විට එම තනතුරෙහි වගකීම ද භාරගත් තරුණ මෛත්‍රීට පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයද හිමිවිය.
පොළොන්නරුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 1989 දී තේරී පත්වූ මෛත්‍රී, 1994 පොදු පෙරමුණු ආණ්ඩුවේ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්විය. 1997 දී සිදුකළ එම ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනයේදී ඔහු මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කෙරිණි.
එතැන් පටන් මෛත්‍රී‘ගේ දේශපාලන ජීවිතයේ වගකීම් බහුල කාලපරිච්ඡේදයක් උදාවිය. ශ්‍රී.ලං.නි.පයේ උප ලේකම් ධුරයට 1997 වසරේදී පත්වූ මෛත්‍රී 2001 වසරේදී පක්ෂ මහ ලේකම් ධුරයට පත්ව පුරා වසර 14 ක් අඛණ්ඩවම එම තනතුර දරයි. එමෙන්ම ඔහු තවත් ප්‍රධාන කැබිනට් අමාත්‍ය ධුර ගණනාවක් එක්වර දරමින් සිය විෂය ක්ෂේත්‍ර තුළ පුරෝගාමී සහ විප්ලවීය කාර්යයන් ගණනාවකට නායකත්වය දුන්නේය.
ගොවිජන හදගැස්ම සැබෑ ලෙස හඳුනන මෛත්‍රී, කෘෂිකර්ම සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ධුරය දරමින් තමා හැදිවැඩුණු සාම්ප්‍රදායික කෘෂිකාර්මික පරිසරයේ පාරම්පරික දැනුම, නව ලොව දැනුම සමග මුසු කරමින් නිර්මාණශීලී කෘෂි ව්‍යාපෘති ගණනාවක් රටට හඳුන්වා දුන්නේය. තවද අස්වනු වැඩිකර ගොවියා සමෘද්ධිමත් කරනු වප් සහනාධාර රැසක් ලබාදීමටද ඔහු පුරෝගාමී විය. මොරගහකන්ද - කළුගඟ සහ වලවේ වම් ඉවුරු වැනි වාරි යෝජනා ක්‍රම දියත් කළේ මෛත්‍රී විසිනි.
වසර ගණනාවක සිට මෛත්‍රී කළ අරගලයක ප්‍රතිඵලයක් ලෙස කිලෝ 50 පොහොර මිටිය රුපියල් 350 ට ගොවි ජනතාවට ලබාදීම පිළිබඳ සන්ධාන ආණ්ඩුවේ පොරොන්දු යථාර්ථයක් කරවීමට හැකිවූයේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස මෛත්‍රීගේ කැපවීම හේතුවෙනි.
කලක් අකර්මණ්‍යව පැවැති වී අලෙවි මණ්ඩලය සම්පූර්ණයෙන් වසා දැමීමට 2000 වසරේදී කෘෂිකර්ම ඇමතිවරයා ලෙස දි.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවට ගෙන ආ පනතට එකහෙළා එරෙහි වූ මෛත්‍රී එය පරාජය කිරීමට විපක්ෂයේ හා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගත්තේය. එසේ වී අලෙවි මණ්ඩලය රැකගත් මෛත්‍රී 2005 වසරේදී කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත්වූ පසුව, එය පූර්ණ බලැති රාජ්‍ය ආයතනයක් බවට පරිවර්තනය කළේය. සහතික මිල යටතේ වී මිලදී ගැනීමේ රාජ්‍ය යාන්ත්‍රණය අදත් ක්‍රියාත්මක වන්නේ එදා මෛත්‍රී යළි ගොඩනැගූ වී අලෙවි මණ්ඩලය මගිනි.
දේශීය ආහාර නිෂ්පාදනය ජාතික මට්ටමින් ඉහළ නංවා රට අහරින් ස්වයංපෝෂිත කිරීමට දියත් කළ 'අපි වවමු - රට නගමු' වැඩසටහන මෛත්‍රීගේ සංකල්පයකි. එය සැබැවින්ම ගොවියා රජ කරවන වැඩසටහනක් විය. ඒ තුළ, වසරකට රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වප් මඟුල් උත්සව සංවිධානය කෙරුණු අතර පුරන්ව ගිය කුඹුරු අක්කර දස ලක්ෂයකට වඩා යළි අස්වැද්දීමට හැකිවිය. ගෙවත්තේ සිට නාගරික තට්ටු නිවාසය දක්වා අඩුතරමින් එළවළු පැළයක් හෝ වගා කිරීමට රටම පෙළගැසුණු යුගයක් එමගින් ඇරඹිණි. 'අපි වවමු - රට නගමු' වැඩසටහනේ සාර්ථකත්වය කෙසේද යත් එය ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්වයන්ගේ ඊර්ෂ්‍යාවටද පාත්‍ර විය.
මෛත්‍රී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2010 – 2014 කාලය තුළ ඔහු ඉටුකළ සේවාව අද්විතීය වේ. අප රට දුම්වැටියෙන් සහ මද්‍යසාරයෙන් මුදවාගැනීම සඳහා ඔහු ගෙනගිය හුදෙකලා අරගලය අගයමින් ලෝක සෞඛ්‍ය සංවිධානය හා හාවර්ඩ් විශ්වවිද්‍යාලය 2013 වසරේදී ඔහු සම්මානයට පාත්‍ර කිරීම එය සනාථ කිරීමකි.
දුම්වැටි හා මද්‍යසාර භාවිතය අවම කිරීම පිණිස මෛත්‍රී විසින් ගෙන එන ලද පනත් කෙටුම්පත මෑතකාලීනව රටේ මහත් ආන්දෝලනයකට ලක්වූවකි. එම පනත මගින් සිගරට් පැකට්ටුවේ පිළිකා අවදානම දැක්වෙන රූපමය කොටස 80%ක් විය යුතු බව නිර්දේශ කර තිබිණි. එහෙත් අවසානයේදී එය 60෴ දක්වා අඩු කිරීමට සිදුවීම පිටුපස ආණ්ඩුවේම අදිසි හස්ත ක්‍රියාත්මක වූ බව ප්‍රසිද්ධ රහසකි.
මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෛත්‍රී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නොබියව ඉදිරිපත් වුවද, ඖෂධ සමාගම් සහ ආණ්ඩුවේ කප්පම් මාෆියාව ඊට අකුල් හෙළීය. ශ්‍රී ලංකාවේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව තුළදී එම පනත් කෙටුම්පත අතුරුදන් වීම ජනතාවගේ අවාසනාවයි.
දශක හතරකට අධික දේශපාලන අත්දැකීම් සමුදායකින් පරිපූර්ණ වූ මෛත්‍රී ත්රස්තවාදීන්ගේ ඝාතන ප්‍රයන්ත වැඩිම සංඛ්‍යාවකින් එනම්, ආසන්න ඝාතන උත්සාහයන් පහකට මුහුණ දුන් සිංහල ජන නායකයාය. සැබැවින්ම ඔහු බොරැලැස්ගමුවේදී මුහුණු දුන් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් නිරුපද්‍රිතව දිවිගලවා ගත්තේ ජාතියේ වාසනාවටය. 2009 මැයි මස යුද්ධයේ අවසන් දින කිහිපයද ඇතුළුව අවස්ථා පහකදීම වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධූරයේ කටයුතු කළ මෛත්‍රී සිය වගකීම නිර්භයව ඉටුකළ නායකයෙකි.
පසුගිය දශකයකට ආසන්න කාලයක් ශ්‍රී.ලං.නි.ප. ප්රමුඛ සන්ධාන ආණ්ඩුව ලැබූ මැතිවරණ ජයග්‍රහණ සියල්ලට උරදුන් අපරමිත සංවිධාන ශක්තිය වූයේ ශ්‍රී.ලං.නි.පයේ මහ ලේකම් මෛත්‍රීය. මානුෂවාදී දෘෂ්ටියේ සහ සුපිරිසිදු දේශපාලනයේ ප්‍රතිමූර්තියක් බඳු මෛත්‍රී, ජනතා අරගලයන්ට නායකත්වය දෙන්නෙකි. යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් සටන් වදින්නෙකි. ගොවියා, ගැමියා සහ කම්කරුවා වෙනුවෙන් පෙනී සිටින්නෙකි.
මෙම ජනාධිපතිවරණයට මෛත්‍රී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින්නේ දේශපාලන පක්ෂ සහ සංවිධාන 47 ක ඒකමතික එකඟතාවෙනි. ඒ වර්තමාන ආණ්ඩුවේ දූෂිත, නාස්තිකාර, පවුල් කේන්ද්‍රීය, අත්තනෝමතික සහ ප්රචණ්ඩ හස්තයේ ග්රහණයෙන් රටද ජාතියද මුදවා ගැනීමේ ජාතික අරගලයට නායකත්වය දීම පිණිසය. මෛත්‍රී එම එඩිතර තීන්දුව ගත්තේ තමා හමුවේ තැබූ අගමැති තනතුරද ප්‍රතික්ෂේප කරමිනි.
ජාතික අභියෝග හමුවේ සියලු පක්ෂ එකඟතාවකට එළැඹ කටයුතු කිරීම අපි මින්පෙරද දැක ඇත්තෙමු. ඒ යම් උපද්රව්යයකින් මිදීම සඳහා සමස්ත ජාතියම එක්විය යුතු වූ අවස්ථාවලදීය. 2004 වර්ෂයේ දී ශ්‍රී.ලං.නි.ප.ය සහ ජ.වි.පෙ. අතරද 2006 වර්ෂයේදී ත්‍රස්තවාදය පරාජය කිරීම පිණිස ශ්‍රී.ලං.නි.ප. සහ එ.ජා.පය අතරද මෙවැනිම එකඟතා ගිවිසුම් අත්සන් තැබුණේය. එම අවස්ථා දෙකේ දීම ආණ්ඩුව සහ ශ්‍රී.ලං.නි.පය වෙනුවෙන් එම ගිවිසුම්වලට අත්සන් කළේ මෛත්‍රීය. මෙවර ද ශ්‍රී.ලං.නි.ප. විශාල පිරිසක්ද සමග සමස්ත විපක්ෂය මෛත්‍රී වටා ඒකරාශී වී සිටින්නේ වර්තමානයේ රට මුහුණුදී සිටින පවුල්වාදී දුර්දාන්ත පාලනය නිමා කිරීමටයි. මෛත්‍රී සිය ජිවිතාශාව පවා හැරදමා, මේ ජාතික කාර්යය වෙනුවෙන් කැපවී සිටියි.
මේ තීරණාත්මක මොහොතේ දී මෛත්‍රී පාලනයක් වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකේය ජාතියටම පියමං කිරීමට සිදුව ඇත්තේ ධන බලය, අවි බලය, මැර බලය සහ පවුල් බලය ඉහවහා ගිය මාවතක් ඔස්සේය. එහෙත් ඒ සියලු බලවේගවලට වඩා ජන බලය ප්‍රබල බව එළැඹෙන ජනවාරි 08 වැනිදා ප්රත්යක්ෂ කළේය.
මෛත්‍රී පාලනය යනු අවනීතිය වෙනුවට නීතිය රජ කරන, අයුක්තිය වෙනුවට යුක්තිය රජ කරන, අසාධාරණය වෙනුවට සාධාරණය රජ කරන, දූෂණය වෙනුවට පාරදෘශ්‍යභාවය රජ කරන, සැබෑ මානව ධර්මතාවන්ට ගරු කරන සංස්කෘතියට සහ සමාජ ක්රමයක උපතයි.
පොදු ජන ජයග්‍රහණය වෙනුවෙන් එක්වුණු පෙළගැසුනු සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය එ්කකය නිකුත් කළ වාර්තාවකි