කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍ර‘දේශයේදී කලාකරුවන් පිරිසකට පහරදීමට වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙකු සම්බන්ධ බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවත්, එම පරීක්ෂණ සඳහා සිද්ධියට අදාළ විද්‍යුත් දර්ශන සියුම්ව පරීක්ෂාවට ලක්කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම පරීක්ෂණ කටයුතුවලට අනුව මේ සඳහා පළාත් සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් සම්බන්ධ බවට හෙළි වී තිබෙන බවත්, පරීක්ෂණ කටයුතු අවසන් වූ පසු අදාළ සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවත් ඔහු පවසා සිටියේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරමින් අලුත් පරපුර සංවිධානයේ කලාකරුවන් පෙරේදා (29දා) සිදුකළ ප්රචාරක කටයුත්තකදී මෙම ප්‍රහාර එල්ලකර තිබේ.
එහිදී ගායක ශිල්පී විශාරද ලක්ෂ්මන් විජේසේකර, රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා, කැමරා ශිල්පී උදය ධර්මවර්ධන යන මහත්ම මහත්මීන් තුවාල ලබා ඇත.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ලේඛක මොහාන් රාජ් මඩවල මහතා %අද^ පුවත්පතට පෙරේදා (29දා) ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කළේ නිල් බළකායේ ටී ෂර්ටයකින් සැරසී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී නාමල් ඉන්දික මහතා ඇතුළු පිරිසක් මෙම පහරදීම සිදුකළ බවත්ය.