ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර උණුසුම් කතාබහක් අද (10දා) පාර්ලිමේන්තුවේදී ඇතිවිය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ආර්.ඒ. හෆීස් මහතා ආපදා කළමනාකරණ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් නැගූඅවස්ථාවේ එහි එක් අතුරු ප්‍රශ්නයක් විමසීමේ අවස්ථාව බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ලබාගැනීමට උත්සාහ කළේය.
ඒ.ආර්.ඒ. හෆීස් මන්ත්‍රීවරයා එක් අතුරු ප්‍රශ්නයක් පමණක් විමසීම හේතුවෙන් ඉතිරි අවස්ථා දෙක තමාට ලබාදෙන ලෙස බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාවේදී කථානායක කරු ජයසූරිය මහතා අනිකුත් මන්ත්‍රීවරුන්ට අසාධාරණ නොකරන ලෙසත්, සාධාරණව කටයුතු කරන ලෙසත් ප්‍රකාශ කළේය.
පසුව නැවත බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාට ප්‍රශ්න කිරීමකට අවස්ථාව එළඹුණු අතර, එහිදී ඔහු "අතුරු ප්‍රශ්න අසන්නට වේලාව තිබියදීත් ප්‍රශ්න අහන්නට දුන්නේ නැහැ. ඔබතුමා අසාධාරණයි" යැයි කී අතර,ඒ සඳහා පිළිතුරු ලෙස කථානායකවරයා,"ඔබතුමා ප්රශ්නය අහනවානම් අහන්න, නැත්නම් මම ඊළඟ අවස්ථාවට යනවා" යනුවෙන් සඳහන් කළේය.