ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රිය පදවා එරට මාර්ග නීතී කඩ කළ බවට දඩ පත්‍රිකා ලැබුණු අනුරාධපුර, තලාව, තිරප්පනේ ගම පදිංචිව සිටි සෝමරත්නගේ දයාවතී මහත්මිය එම රථ වාහන වැරදිවලින් නිදහස් කරන බව සඳහන් කරමින් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා පොලීසිය මගින් ලිපියක් ඇය හට එවා තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෝමරත්නගේ දයාවතී මහත්මිය,
"2016.10.04 අද පුවත් පතේ ප්‍රධාන සිරස්තලය මගින් මට සිදු වූ අසාධාරණය පිළිබඳව ප්‍රථම වතාවට මුළුලෝකයම දැනුවත් කර තිබුණා. ඒ පිළිබඳ අන්තර්ජාලය හරහා දැක තිබූ තලාවේ සිට පිටරට ගිය අය හා බී.බී.සී වැනි පිටරට මාධ්‍ය ආයතනවල අය පවා සිදු වී ඇති සිද්ධිය සම්බන්ධයෙන් මා වෙත දුරකථන ඇමතුම් ලබාදුන්නා.
රූපවාහිනි නාළිකා රැසක් මාගේ නිවස සොයා ආවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා එදින ද මා හට දුරකථනයෙන් කතා කළා. ඒ මහතා කියා සිටියේ මාධ්‍ය මගින් දැකීමෙන් පසුව මේ පිළිබඳව තමන් දැනගත් බවත් එම ගැටලුව ඉතා ඉක්මනින් විසඳීමට පියවර ගන්නා බවකුයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් වෙහෙස වූ සියලුදෙනාට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.
එරට පොලීසියෙන් එවා ඇති ලිපියේ සඳහන් වන්නේ එක් වැරද්දකට අදාළ දඩ මුදල් හා හිඟ මුදල් එරටේ රිය පදවන මාගේ නම සහ ලිපිනය සඳහන් අය වෙත යොමු කරන බවත් මා වෙත එල්ල වී තිබූ චෝදනාවෙන් නිදහස් කරන බවකුයි" යැයිද පවසා සිටියාය.