ඉදිරි ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂය විසින් විජයදාස රාජපක්ෂ මහතා හෝ වෙනත් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවත්, තම කණ්ඩායමේ අපේක්ෂකයකු ඒසඳහා ඉදිරිපත් වනු ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ඊයේ (23දා) පැවසීය.
එහෙත් විජයදාස රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයට පැමිණියහොත් ඔහු පිළිගැනීමට සූදානම් බවත්,ඒකාබද්ධ විපක්ෂය විසින් ඒ මහතාට ලණුවක් ලබා දී ඇතැයි පැවසෙන ප්‍රකාශ අසත්‍ය බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් වැඩිදුරටත් අදහස්දැක්වූ දිලුම් අමුණුගම මහතා,
“මේ වනවිට රජය සෑම අංශයකින්ම බරපතළ අර්බුදයකට පත්ව තිබෙනවා. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ නියෝග අනුව අපේ අය දඩයම් නොකිරීම නිසා විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කරන්න 'වන්ෂොට්' ඇමතිවරු බිහිව තිබෙනවා. තමන්ට අවශ්‍ය අය හිරේ නොදැමීම නිසා පසුගිය සතියේදී නීතිපතිවරයා අරලියගහ මන්දිරයට කැඳවලා ඔහුට තර්ජනය කර තිබෙනවා.
යහපාලන ආණ්ඩුව ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටෙව්වා, මැතිවරණ නැහැ.විගණාකාධිපති පනතක් ගේනව කිවිවා, තවම නැහැ. ඒ සියල්ලම පැත්තකට දමලා ආණ්ඩුව අධිකරණ ඇමතිව අල්ලගෙන තිබෙනවා. හම්බන්තොට වරාය ගැන ඔහු ප්‍රකාශ කළේ තමන්ගේ පෞද්ගලික මතය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහුට ඒ අයිතිය තිබෙනවා.
තමන්ගේ ප්‍රකාශය වෙනස් කරන ලෙස පක්ෂය ඔහුට දැන්වුවත්, ඒ ප්‍රකාශය වෙනස් නොකිරීමට තරම් ශක්තිමත් කොන්දක් ඔහුට තිබුණා. ඒ නිසා ඔහු අධිකරණ ඇමතිකමින් ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාට ලිපියක් යවනවා. අධිකරණ ඇමතිවරයාටත් දඬුවම් කරන්න පුළුවන් චණ්ඩි මේ කැබිනට් එකේ ඉන්නවා. රාජිත සේනාරත්ත ඇමතිවරයා හැම ප්‍රශ්නයටම හොටදමනවා.
ඒත් එකක්වත් හරියට කර ගන්න බැහැ. ඔහුගේ මේ හැසිරීම ඔහුගේ දෙමාපියන්ටත් අවනම්බුවක්.නව දේශීය ආදායම් පනතින් බදු සහන කපා හැර තිබෙනවා. මේ බදු ක්‍රියාත්මක වෙන්නේ දුප්පත් ජනතාවට පමණයි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සුපිරි වාහනවල යන ගමන් දුප්පත් ජනතාවගේ පිං පඩියෙන් රුපියල් සියයක් කපාගන්නවා"යනුවෙන් පවසා සිටියේය.