පාර්ලිමේන්තු යෝජනාවක් මගින් නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට අදාළ කටයුතු සඳහා සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කිරීමට රජය දරන උත්සාහයට එකඟ නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. මේ පිළිබඳව පක්ෂ නායකවරුන් හා කථානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී පවත්වනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු පදවිප්රාප්තියට සමගාමීව නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ ක්‍රියාදාමයට රජය මුල පුරන බව පසුගියදා රජයේ නායකයන් විසින් දන්වා තිබුණි. ඒ සඳහා අවශ්‍ය යෝජනාව ජනවාරි මස 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද එහිදී සඳහන් විය.
කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ව්‍යවස්ථා වෙනස්කම් ඇති කිරීමේ පිළිගත් ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයක් පවතින බැවින් ඉන් බැහැරව කටයුතු කිරීමට කිසිසේත් එකඟ නොවන බවයි.
රජය එලෙස අත්තනෝමතිකව කටයුතු කළහොත් අනවශ්‍ය නීතිමය අරගලයක් ආරම්භයේදීම ඇතිවන බවත්, ඔහු සඳහන් කළේය. කෙසේ නමුත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ පාර්ලිමේන්තු කටයුතු කරගෙන යෑමට ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු විශේෂ යෝජනා මගින් ඉඩ ඇති බවයි.