2017 වර්ෂය සඳහා රජය ඉදිරිපත් කළ අයවැය වාර්තාව පිළිබඳ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසිම අද (18දා) පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 ක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇතැයි 'අද' ට වාර්තා වේ.
තවද ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අයවැයට පක්ෂව ඡන්ද ප්‍රකාශ කිරීමට තීරණය කර ඇතැයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කළේය.
අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 සහ අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම පසුව ජනාධිපතිවරයා සමග එක්වීමටද මේ වනවිට තීරණය කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
2017 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය වාර්තාව සම්බන්ධයෙන් අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (18දා) සිදුකිරීමට නියමිතය. ඒ අනුව අද (18දා) පස්වරු 6.00 ඡන්ද විමසීම ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමතිවරුන්ට අද (18දා) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණීමට අනිවාර්යය කර ඇති අතර, අයවැය ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවද වාර්තාවේ.
අයවැය ඡන්ද විමසීමෙන් මෙවර අයවැය තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් සම්මත වන බව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පවසති. කෙසේ වෙතත් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය අයවැය සම්බන්ධයෙන් කෙලෙස ඡන්ද ප්‍රකාශ කරනවාදැයි විමසූ අවස්ථාවේදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියල්ල අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි.
දෙමළ ජාතික සන්ධානය අයවැය සඳහා ඡන්දය ලබාදීම පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද අප කළ විමසීමකදී එහි මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය.
අද (18දා) පස්වරුවේ ඡන්ද විමසීමත් සමග අයවැය දෙවැනි වර කියවීමේ අවස්ථාව අවසන් වන අතර, හෙට (19දා) සිට දෙසැම්බර් 10 දා දක්වා අයවැය කාරක සභා අවස්ථාව පැවැත්වේ.
ඒ අනුව අයවැය කාරක සභා අවස්ථාවේ පළමු දිනය ලෙස හෙට (19දා) ජනාධිපති, අගමැති, උපරිමාධිකරණ විනිශ්චකාරවරු අමාත්‍ය මණ්ඩල කාර්යාලය, පාර්ලිමේන්තුව, සභානායක කාර්යාලය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය සහ විපක්ෂ නායක කාර්යාලය වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
එමෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පරිපාලන අභියාචනා විනිශ්ච අධිකාරිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභා කාර්යාලය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභා කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලය සඳහා වන වැය ශීර්ෂද විවාදයට ගැනීමට නියමිතය.
එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව, විගණකාධිපති, සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන ආයතනවල වැය ශීර්ෂද මෙහිදී විවාදයට ගනු ඇත.