කැනඩාවේ ටොරන්ටෝ නගරයේ සිට හෝලිෆැක්ස් වෙත පැමිණි එයාර් කැනඩා ගුවන් සෙවයට අයත් AC624 ගුවන් යානය ගොඩබාන අවස්ථාවේදී ගුවන් පථයේ ලිස්සා යෑම හේතුවෙන් අනතුරට පත්ව තිබේ.
එයාර් බස් A320 මාදිලියේ ගුවන් යානය එම අවස්ථාවේදී මගීන් 133ක් හා කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සමග ගමන් කරමින් සිට ඇති අතර, අනතුරින් පසුව සුළු තුවාල ලැබූ 23 දෙනෙකු වහාම රෝහල් ගත කර ඇති බවද වාර්තා වෙයි.
ගුවන් යානය ගොඩබෑමෙන් පසුව විදුලි කණුවක ගැටී ඇති අතර, එම අවස්ථාවේදී අධික සුළං හැමීමක් මෙන්ම, ගුවන් පථයේ හිම පතනයක්ද තිබී ඇත.
යානය විදුලි කණුවේ ගැටීම හේතුවෙන් හෝලිෆැක්ස් ගුවන් තොටුපොළේ විදුලිය ඇණ හිටීමක්ද සිදුව තිබුණත්, විදුලිය වහාම යළි ස්ථාපිත කිරීමට හැකිවී තිබේ.
යානය ගොඩබාන අවස්ථාවේදී විශාල එළියක් විහිදුණු බවත්, ඒ සමගම යානය බිම වැදී නැවත ඉහළට එසවුණු බවත් එහි ගමන්ගත් මගියෙකු කියයි.