පසුගිය ආණ්ඩු සමයේදී තමාට මහරජා යැයි පැවැසූ ඇතැම් පුද්ගලයන් වර්තමානයේදී තමාට වෘකයා යැයි කියන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඊයේ (02දා) වැලිගම පැවැති හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ, "කෙනෙක් කියනවා වෘක පවුලක් තමයි රට පාලනය කළේ කියලා. ඒ කියපු කෙනා හැඳුණේ වැඩුණේ කිරි බිවුවේ වෘක පවුලෙන් තමයි. අපි කුණු අදින්න කැමති නෑ. නමුත් කතා කරන කොට සීමාවක් තියෙන්න ඕන. ඒ දවස්වල මහ රජා අද වෘකයා." යනුවෙනි.
එසේම පසුගිය කාලය පුරාවට තමා ඉවසූ බවත් එම ඉවසීමේ සීමාවක් තිබෙන බවත් ඔහු මෙහිදී පැවැසීය. "අපි නිහඬව හිටියා. හැබැයි ඒකෙත් සීමාවක් තියෙනවා. බිත්තියට තල්ලු කරගෙන ගිහින් බිත්තිය ගාවට යනකම් පසු බසින්නම්. හැබැයි බිත්තියට හේත්තුවෙලා වඳින ජාතියේ මිනිස්සු නෙමෙයි අපි." යනුවෙන් වැඩිදුරටත් පැවසීය.