යහපාලන රජය තුළ හා එක්සත් ජාතික පක්ෂය තුළ දැවැන්ත වෙනසක් සිදුවිය යුතු බවට එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීවරුන් ඇතුළුව ගම්මට්මේ හා බිම් මට්ටමේ සිටින අවසාන පාක්ෂිකයා දක්වා දැවැන්ත බලවේගයක් නිර්මාණය වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පැවසීය.
පසුගිය දින කිහිපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවලදී අගමැතිවරයා නම්‍යශීලී ප්රතිපත්තියක සිටි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ පිළිබඳ පක්ෂය හා අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කර අවශ්‍ය තීන්දු තීරණවලට එළැඹීමට රනිල් වික්‍රමසිංහ මහතා දින කිහිපයක් ඉල්ලා සිටි බවත්, අගමැතිවරයාට එම තීරණය ගැනීමට ඉඩ දුන් බවත් ඒමහතා කීවේය.
පසුගිය 10 වැනිදා ප්‍රකාශ වූ ජනමතය කුමක්ද කියා රටටම දැන ගන්නට ලැබුණු බවත්, ජනවාරි 08 ජයග්‍රහණයේ කොටස් විසින් යහපාලන ආණ්ඩුවට කණේ පහරක් සහ දැනුම්දීමක් කර තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
“අපි දිගින් දිගටම මේ ආණ්ඩුව තුළ හඬ නගපු බැඳුම්කරයට එරෙහිව සහ ආණ්ඩුවෙ තියෙන දූෂණ අක්‍රමිකතා, ආණ්ඩුව කරගෙන යන වැරදි වැඩපිළිවෙළට එරෙහිව ජනමතය අද ගමෙන් නිකුත් වෙලා තිබෙනවා. මම මේ රටේ සිවිල් ව්‍යාපාර නායකයෙක් හැටියට රජයේ සහ ආණ්ඩුවේ තිබිය යුතු වෙනස ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පෞද්ගලිකව පසුගිය දින දෙකේදී දීර්ඝ සාකච්ඡා වට කිහිපයක් තුළ කරුණු ගෙන හැර දැක්වූවා. ජනමතය සහ අදාළ ප්‍රතිසංස්කරණ සහ මේ ආණ්ඩුව යා යුතු අලුත් ගමන පිළිබඳ එහිදී මම පෙන්වා දුන්නා.
මේ ආණ්ඩුවේ දැන් තියෙන්නේ ජනමතය තුළින් ආණ්ඩුව තුළ සහ පක්ෂ තුළ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සිදුකරන එක. ඒක අපි මාධ්‍යයට නැතිව සදාචාරාත්මක විදියට රජය තුළ සහ පක්ෂය තුළ සිදුකළා. එම අදහස රටට නෙමෙයි ආණ්ඩුවේ නායකයන් දෙදෙනාට මුහුණට මුහුණ පෞද්ගලිකව දැනුවත් කර තියෙනවා.
අගමැති ධුරයට හා එ.ජා.ප. නායකත්වය සම්බන්ධයෙන් විවිධ නම් යෝජනා වෙලා තියෙනවා. එම යෝජනා සම්බන්ධව යම්කිසි විවිරණයක් පවතිනවා. ඒ සියලු දේවල් එක්ක සුදුසුම දේ අනාගතයේදී මේ රජය තුළින් හා පක්ෂය තුළින් සිදුවෙයි. එහෙම පරිවර්තනයක් වුණේ නැත්නම් ඒකත් අපි අභියෝගයකට ලක් කරනවා'' යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
එසේම සිය පියා වන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිම පිළිබඳව චතුර සේනාරත්න මහතා සිය විරෝධය දක්වා ඇති බවත් වාර්තා වෙයි.