එජාප රාජ්‍ය අමාත්‍යවරු දැඩි කලකිරීමෙන්
සමහර රාජ්‍ය ඇමතිවරුන්ට මේසයක්,පුටුවක්වත් නෑ
ශ්‍රීලනිප කැබිනට් අමාත්‍යවරු සිටින සමහර අමාත්‍යාංශවල ඇත්තේ සම්මුතිවාදයක් නොව හිතුවක්කාරීවාදයක්
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරු දැඩි කලකිරීමකට පත්ව සිටින බවත්, සමහර රාජ්‍ය ඇමතිවරුන්ට මේදක්වා මේසයක්,පුටුවක් හෝලබාදී නොමැති බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අදට පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් යටතේ කටයුතු කිරීමේදී මෙයට මුහුණදීමට සිදුව ඇති බවත්,සමහර අමාත්‍යාංශවල ඇත්තේ සම්මුතිවාදයක් නොව හිතුවක්කාරීවාදයක් බවත් ඒ මහතා සඳහන් කළේය.
අමාත්‍යාංශවල සාකච්ඡා කිරීමකින් තොරව තීන්දු තීරණ ගන්නා බවත්, විෂයයන් බෙදාදී ඇත්තේද අසාධාරණ අයුරින් බවත් කී රාජ්‍ය ඇමතිවරයා, සමහර කරුණු ගැන සාකච්ඡා කළද ඇමතිවරයාට අවශ්‍ය පරිදි තීරණවලට එළඹෙන බවද පවසා සිටියේය.
මේ සම්බන්ධව වගකිවයුත්තන්ට කියා ඇතත් ප්‍රථිපලයක් අත්නොවූ බවත්,එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාට ඊයේ(12දා) දිනයේදී මේගැන අවසන් වතාවට පැමිණිලි කළ බවත් රංගේබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය ඇමතිවරුන් වන දිලිප් වෙදආරච්චි,වසන්ත සේනානායක,චම්පිකා ප්‍රේමදාස යන මහත්වරුන් මෙම තත්ත්වයට දැඩිලෙස මුහුණපා ඇති බවත්,වසන්ත සේනානායක මහතාට මේසයක් හෝ පුටුවක්වත් ලබා දීනොමැති බවත් හෙතෙම පවසා සිටියේය.
මේ අතර කෑගල්ල බටංගලදී හෙට(14දා) පැවැත්වෙන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය විවෘත කිරීමේ උත්සවය ඇමතීමට තමාට අවස්ථාව ලබා නොදී මහින්ද සමරසිංහ සහ රංජිත් සියඹලාපිටිය යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට අවස්ථාව ලබාදී තිබෙන බැවින්, තමන් එම අවස්ථාවට සහභාගි නොවන බවද නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
වෘත්තිය පුහුණු රාජ්‍ය ඇමතිවරයා වන තමන්ට එම උත්සවය ඇමතීමට අවස්ථාව ලබානොදී එකම පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනෙකුට උත්සවය ඇමතීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව සිය විරෝධය පළ කරන බවද හෙතෙම කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්,රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා,සංදීප් සමරසිංහ ආදීන්ටද මෙම උත්සවයට අරාධනා කර නැති බවත්,ඔවුන්ටද ආරාධනා කළේ නම් මෙම රාජ්‍ය උත්සවය විචිත්‍රවත්, සම්මුතිවාදය පිළිබිඹු කරන උත්සවයක් වනු ඇති බවත් ඒ මහතා පවසා සිටියේය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේබණ්ඩාර මහතා,
“මම වේදිකාව සරසන්න යන මිනිහෙක් වෙලා වැඩක් නැහැ.මේක වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් ආයතනයක්.මෙවැනි දෙයක් සිදුවුණේ පළමු වතාවට නෙවෙයි.මීට පෙර අවස්ථා දෙකකදී කළා.ජර්මන් අභ්‍යාස විද්‍යාල විවෘත කිරීමේ උත්සවයේදී සහ සාගර විශ්ව විද්‍යාලයේ වර්ණ ප්රදානය කිරීමේ අවස්ථාවේදී මෙය කළා.මේක හිතාමතාම කරන දෙයක්.මේ පිළිබඳ වගකිවයුත්තන්ට දැනුම් දී තිබෙනවා.කැබිනට් වැඩ බැලීමේ අවස්ථාවේදීත් මෙය වෙනවා.හැමදාම කැබිනට් ඇමතිවරයා රට ඉඳලා හෙට එන්නේ කියලයි වැඩබැලීමේ ලිපිය ලැබෙන්නේ.ආවට පස්සේ ඒ ලිපිය එවන අවස්ථාත් තිබෙනවා.අපි අමාත්‍යාංශයේ සාකච්ඡා කරලා ගත්තු තීරණ එකක්වත් ඉෂ්ට වෙන්නෙ නෑ.මේකේ තියෙන්නේ සම්මුතිවාදය නෙවෙයි හිතුවක්කාරීවාදය* යනුවෙන් පවසා සිටියේය.
මේ සම්බන්ධව කළ විමසීමකදී නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ පාලිත රංගේ බණ්ඩාර මහතාට කතාකිරීමට අවස්ථාවක් නොදීම සම්බන්ධයෙන් තමන්ට අදහස් දැක්විය නොහැකි බවයි. එම කාරණය පාලිත රංගේබණ්ඩාර මහතාගෙන්ම අසා දැනගන්නා ලෙසද ඔහු කීය.
කෑගල්ල- බටංගල වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වන්නැයි පාලිත රංගේ බණ්ඩාර මහතාටද නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය විසින් ආරාධනා පත්‍රයක් යවා තිබේ.ඒ ආකාරයට බොහෝදෙනෙකුට යවා ඇති ආරාධනා පත්‍රයේ සඳහන් වන්නේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ,විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,අධිකරණ හා බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල,නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර,පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුසිතා විජේමාන්න,පළාත් සභා මන්ත්‍රී රංජිත් පොල්ගම්පොල යන අය ප්‍රධාන අරාධිත අමුත්තන් ලෙස එම අවස්ථාවට සහභාගි වන බවයි.