නියෝජ්‍ය නායක තනතුරට සජිත්
රංජිත් මද්දුමබණ්ඩාරට ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරක්
හරීන් පිළිබඳ විශේෂ අවධානයක්
තලතාට හා අකිලට ජාතික තනතුරු
එරාන් භාණ්ඩාගාරික තනතුරට
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාත් පත්කිරීමට නියමිතය.
මීට අමතරව පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා වී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මියට පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක පදවිය යෝජනා වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා වෙත පක්ෂයේ උපනායක පදවියක් ලබා දීමට සූදානමක් පවතින බවද ප්‍රකාශ වේ. එහෙත් රවි කරුණානායක මහතා ඊයේ (22දා) රාත්‍රී වනතුරුත් ඊට එකඟතාව පළකර නොතිබිණි.මේ අතර එ.ජා.පයේ පසුගිය කාලයේ පැවති අසමගිය දුරලීම සඳහා එක් විසඳුමක් ලෙස ඇති කළ නායකත්ව මණ්ඩලය මේ සමග දියවී යළි පක්ෂයක් ලෙස ස්ථාපිත වීමද හෙට සිට ආරම්භ විය හැකි බවද වාර්තාවෙයි.
නායකත්ව මණ්ඩලය පත් කිරීමේ ප්‍රධාන අරමුණක් ලෙස සටහන් වූයේ ඉදිරියේ දී පැවැත්වෙන පළාත් සභා මැතිවරණ වලදී පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කිරීමට නායකත්ව මණ්ඩලය පත්කරන බවය. මේ වනවිට සියලු පළාත් සභා මැතිවරණ අවසන්ව තිබෙන අතර ඒ අනුව නායකත්ව මණ්ඩලයේ අවශ්‍යතාවක් පැන නොනගී. එසේම මහලේකම් තිස්ස අත්තනායක මහතා නායකත්ව මණ්ඩලයෙන් ඉවත් වීමද නායකත්ව මණ්ඩලය ස්වභාවිකව අකර්මණය වීමට හේතුවක් ද වෙයි.
ජාතික සේවක සංගමයේ සභාපති තනතුරට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පවතින සාමාජික පුරප්පාඩු සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබෙන අතර, එහිදී හරින් ප්‍රනාන්දු මහතාට හා පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට ජාතික මට්ටමේ තනතුරු ලබාදීම පිළිබඳව අවධානය යොමු වී තිබෙන බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වන බව ඊයේ සඳහන් කළේය. ඔහුගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව වී තිබෙන්නේ එජාප නායකත්ව මණ්ඩල සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සමග පවතින සිත් නොහොඳවීමක් බවට ද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නම ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කිරීමට නියමිත අතර, මීට අමතරව ඌව පළාතේ විපක්ෂනායක තනතුර හරින් ප්‍රනාන්දු මහතාට ලබාදීම පිළිබඳ තීරණයද අද දිනයේදී ගැනීමට නියමිතය.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරු දෙකක් පවතින අතර, එහිදී එක් තනතුරක සේවය කළ කබීර් හෂීම් මන්ත්‍රීවරයා සභාපති තනතුරට පත්වීමත් සමග එම තනතුර පුරප්පාඩු වී තිබේ. අනෙක් තනතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කටයුතු කරයි. තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (23දා) සවස පැවැත්වීමට නියමිතය.