එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සමග ආණ්ඩුව තුළ තවත් කටයුතු කිරීමට අපහසු බැවින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වාඩිවීමට තීරණය කළ බව හිටපු උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රාජීව විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව ඊයේ (17දා) දිනයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හිඳගත්තද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව විජේසිංහ මහතා 'අද' පුවත්පතට සඳහන් කළේය
වැඩිදුරටත් 'අද' පුවත්පතට අදහස් දැක්වූ ඒ මහතා,
'පෙබරවාරි 17 වැනිදා ඉල්ලා අස්වන බවට 12 වැනිදා ජනාධිපතිතුමාට මම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නා. එදා කබීර් හෂීම්ට ජනාධිපති කතා කරලා මේක විසඳන්න කිව්වලු. පස්සෙ කබීර් මට කිව්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තනතුරුවලට පත්කරන්නෙ අගමැති ගාව තියෙන ලිස්ට් එකට අනුව කියලා. මම අන්තිමට තරහ වුණා. මේ මොන පිස්සුවක්ද කියලා මම ඇහුවා. අගමැතිට ලිස්ට් යවන එක වැරදියි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අයිති අගමැතිට නෙමේ ජනාධිපතිටයි.
ව්‍යවස්ථාවේ පැහැදිලි ලෙසම කියා තියෙනවා ඇමති කෙනෙක් ඉල්ලා අස්වන බවට ජනාධිපති ලිපියකින් දැනුම්දුන් විට ඉල්ලා අස්වෙන්න පුළුවන් කියා. ඒ නිසා මාව හිරකරන එක වැරදියි. ඊටපස්සෙ පාර්ලිමේන්තුවේ මහ ලේකම්ටත් ඒ ලියුම දුන්නා.
මම ඉල්ලා අස්වෙලා මාසයකටත් වැඩියි. මම වාහන ආපහු දුන්නා. මගේ පඩිය ගත්තේ නෑ. හැබැයි අගමැතිතුමා පාර්ලිමේන්තුවෙ කියලා තියෙනවා මගේ ඉල්ලා අස්වීම පිළගත්තෙ නෑ කියලා. ඉඳගන්න තැනක් හොයද්දි පාර්ලිමේන්තුවේ මහලේකම්තුමත් කිව්වා අපට මේක වෙනස් කරන්න බෑ කියලා. අපට ඉල්ලා අස්වෙලා බව කියා නෑ කිව්වා.
ඉතින් මම පැහදිලි කිරීමක් කළා ඉල්ලා අස්වූ බවට. නමුත් අගමැතිතුමා වාචිකව කියනවා බාරගත්තෙ නෑ කියලා. මේක තනිකරම පිස්සු වැඩක්.
16 වැනිදා රනිල් මට කෝල් කරලා කිව්වා මම චන්ද්‍රිකාගෙන් මේ ගැන අහන්න ඕනෑ කියලා. ඔයා පොතක් කියවගෙන ඉවසන් ඉන්න කිව්වා. හෙට උත්තරයක් දෙන්නම් කියලා සති 03කින් මට කතා කළේ නෑ. චන්ද්‍රිකාට එංගලන්තෙ ඉන්නකොට ගන්න අමාරුයි කියද්දි, මම ඇහුවා මෙහෙමද රටක් පාලනය කරන්නෙ කියලා. ගිය සතියේ මගේ ගෙදරට ඇරලවත් නැති ලිපි 50 ක් එවලා තිබුණු නිසා මම තවත් අප්සට් වුණා. මේවා ඇමතිගෙ නමට ආපු ලියුම්. කබීර්ට කිව්වා මම ඇමතිකමේ ඉද්දි දවස ඉවරවෙන්න කලියෙන් ලියුම් ඔක්කොම කියවලා පිළිතුරු යැවූ විත්තිය. මාසයක් විතර අමාත්‍යාංශයට එන්නැතිව ඉද්දි මිනිස්සු හිතයි මම වැඩ කරන්නෑ කියලා. අන්තිමට මට ඉවසන්න බැරිවුණා. පාර්ලිමේන්තුවේ මහලේකම්ට කිව්වාම කතා කරන්න දෙන්නම් කිව්වා.
ඇමතිකමෙන් අයින් වෙලා මාසයක් වෙනවා. මට වාහනයක්වත් නෑ. රනිල් මන්ත්‍රීවරුන්ට වාහන දුන්නා. මටත් ලිඛිතව දැනුම්දෙන්න කිව්වා. ජාතික ලැයිස්තුවේ අපට පර්මිට් දෙන එක නවත්වනවා කිව්වා. අද මම මාරු වුණා. මම ආණ්ඩුවේ ගොදුරක් නෙමෙයි. හැබැයි මෛත්‍රීපාල ජනාධිපතිතුමාට මගේ සම්පූර්ණ සහාය දෙනවා. ඒත් මේ තියෙන යූ.එන්.පී. ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න අමාරුයි. ඒ අය දේශපාලනය ගැන විතරයි හිතන්නේ.' යනුවෙන් සඳහන් කළේය.