එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරයාගේ සංචාරය තුළදී ශ්රී ලංකාව පිළිබද බොහෝ තොරතුරු ලබා ගන්නට ඇති බවත් එහි නිවැරදි තොරතුරු මෙන්ම ඇතැම්විට වැරදි තොරතුරු ද විය හැකි බවත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
කෙසේ වෙතත් එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්රී ලංකාව කෙරෙහි දක්වන අපක්ෂපාතී ආකල්පය පිළිබද ස්තූතිවන්ත වන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
එසේම ශ්රී ලංකාව විවිධ ක්ෂේත්රයන් තුළ ලබා ඇති ප්රගතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙන බව සහකාර මහලේකම් ජෙෆ්ර් පෙල්ට්මන් මහතා පැවැසීය.
දිවයිනට පැමිණ සිටින ජෙෆ්රි පෙල්ට්මන් මහතා ඊයේ (21දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී එම අදහස් හුවමාරුව සිදුවිය.
තම තෙදිනක සංචාරය තුළ සමාජයේ විවිධ කොටස් සමග සාකච්ඡා පැවැත්වූ බවත් ඒ අනුව ශ්රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබද නිසි අවබෝධයක් තිබෙන බවත් සහකාර මහලේකම්වරයා සඳහන් කළේය.
උතුරේ අවතැන්වූවන්ට රජය ලබාදෙන නිවාස සහ ඉඩම් භාර නොගන්නා ලෙස උතුරේ අන්තවාදී පිරිසක් එම ජනතාවට බලපෑම් කරන බවත්, රට පාවා දෙන්නේ යැයි දකුණේ අන්තවාදී සුළු පිරිසක් රජයට අභූත චෝදනා එල්ල කරන බවත් පැවසූ ජනාධිපතිවරයා එම අන්තවාදීන්ගේ සහ අවස්ථාවාදී දේශපාලඥයින්ගේ අභියෝග නොතකා තම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් ජනතාව අපේක්ෂාකරන සහන ලබාදීමට කටයුතු කරන බව ද ප්රකාශ කළේය.