එක්සත් ජාතීන්ගේ මහලේකම් හෙට දිවයිනට
ශ්‍රී ලංකා රජයේ ආරාධනය මත දෙදින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් මහතා හෙට (31දා) දින දිවයිනට පැමිණීමට නියමිතය. සිය සංචාරයේදී බෑන්කී මූන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර,කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනෙකු,දේශපාලන පක්ෂ නායකයන්,සිවිල් සමාජ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් හමුවීමට නියමිතය.
සැප්තැම්බර් 01 වැනිදා ගාල්ලට යන බෑන්කී මූන් මහතා සංහිඳියාව සහ සහජීවනය ගොඩනැගීම සඳහා තාරුණ්‍යයේ භූමිකාව නම් තේමාව යටතේ පැවැත්වෙන වැඩසටහනකට එක්වීමට නියමිත අතර, සැප්තැම්බර් 02 වැනිදා යාපනයේ නැවත පදිංචිකිරීමේ ප්‍රදේශ නැරඹීමට නියමිත බවද එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය සඳහන් කළේය.
ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්රමෝපායාත්මක අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ සභාපතිවරයාගේ සහ අධ්යක්ෂ මණ්ඩලයේ ආරාධනයෙන් සැප්තැම්බර් 02 වැනිදා කොළඹදී තිරසාර සාමයක් කරා -තිරසාර සංවර්ධන ඉලක්ක මුදුන් පමුණුවාගැනීම මැයෙන් පැවැත්වෙන උත්සවයක් ඇමතීමද මහලේකම්වරයාගේ සංචාරයට ඇතුළත් බව එම කාර්යාලය පවසයි.
බෑන් කී මූන් මහතාගේ සංචාරයේ ප්‍රගතිය පිළිබඳ දැනුම්දීම සඳහා සැප්තැම්බර් 02 දින කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමටද නියමිතය.
+
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
