දඹුල්ල - අනුරාධපුර ප්රධාන මාර්ගයේ බුලාගල ප්රදේශයේදී ඊයේ (06දා) රාත්රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කාන්තාවක මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ, දඹුල්ල, බුලාගල පදිංචිව සිටි ශියානි මංගලිකා (අවු.50) නමැති එක් දරු මවකි.
මියගිය කාන්තාව සිය සහෝදරිය සමග බුලගල ප්රදේශයට පැමිණ ඇත්තේ දඹුල්ල නගරයේ පෞද්ගලික රෙදිපිලි අලෙවිසැලක සේවය කරන සිය දියණිය නිවසට කැඳවා ගෙන ඒම සඳහාය.
දියණියත්, දියණියගේ යහළුවෙකුත් බස් රථයෙන් බැසීමෙන් පසු නිවසට කැඳවාගෙන යෑම සඳහා මාර්ගය හරහා මාරුවෙද්දී වේගයෙන් පැමිණි යතුරුපැදියක අදාළ කාන්තාව ගැටී තිබේ.
එහිදී මියගිය කාන්තාව ප්රධාන මාර්ගය මැද වැටී සිටියදී ඒ අසල පිහිටි වෙළෙඳ සැලක හිමිකරු සහ මියගිය කාන්තාවගේ සහෝදරිය අදාළ කාන්තාව එසවීමට සූදානම් වෙද්දී එක්වරම දඹුල්ල දෙසින් වේගයෙන් පැමිණි ජීප් රථයක් එම පිරිසද යටකර ගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටු මියගිය කාන්තාවගේ දියණිය පැවසුවාය.
යතුරුපැදියේ ගැටී තුවාල ලබා සිටි මියගිය කාන්තාව ජීප් රථයේ ගැටීමෙන් එම ස්තානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ජීප් රථයේ ගැටී තුවාල ලැබූ මියගිය කාන්තාවගේ සහෝදරිය හා වෙළඳසැල් හිමිකරු දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.අනතුරින් යතුරුපැදිකරුද සුළු තුවාල ලබා ඇත. ජීප් රථයේ රියදුරු දඹුල්ල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.