ඌව පළාත් සභා මැතිවරණයේ ප්රචාරක කටයුතු ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා කාලය තුළ ඌව පළාතේ මැතිවරණ ප්රචාරක කාර්යාල 40 ක් විනාශ කර දමා තිබෙන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මේ අනුව ජනතා විමුක්ති පෙරමුණට අයත් ප්රචාරක කාර්යාල 20 ක්, එක්සත් ජාතික පක්ෂයට අයත් ප්රචාරක කාර්යාල 18 ක්, ජාතික නිදහස් පෙරමුණට සහ ප්රජාතන්ත්රවාදී පක්ෂයට අයත් මැතිවරණ ප්රචාරක කාර්යාල එක බැගින් විනාශ කර දමා තිබෙන බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මෙම කාර්යාල 40 න් 39ක්ම විනාශ කර තිබෙන්නේ මොනරාගල දිස්ත්රික්කයේ බවත්, මීට අමතරව නීති විරෝධී මැතිවරණ ප්රචාරක කාර්යාල 20 ක් මොනරාගල දිස්ත්රික්කය තුළ පවත්වාගෙන යන බවත්, ඉන් අතිබහුතරය රජයට පක්ෂපාතී ඒවා බවත් ඒ මහතා පවසා සිටියේය.