පළාත් සභාව ජයගෙන වසර දෙකක් ගතවීමට පෙර කන්දකැටිය, මීගහකිවුල සහ රිදීමාලියද්ද මේ රටේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහේ ලැයිස්තුවෙන් අයින් කරන බවත්, ඌව පළාත් සභාව ජනතාවගේ තෝතැන්නක් කර, මහ ඇමති නිල නිවස ජනතාවගේ මහගෙදර කරන බවත් ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මහ ඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
පෙරේදා (13දා) රාත්‍රියේ මීගහකිවුල තල්දෙන පොළ භූමියේ පැවැති රැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
“මම පොරොන්දුවක් දෙනවා. මේ පළාත් සභාව අරගෙන අවුරුදු දෙකක් යන්න ඉස්සරවෙලා කන්දකැටිය, මීගහකිවුල, රිදිමාලියද්ද දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහෙන් අයින් කරනවා කියලා. මේ පළාත් සභාව ගත්තට පස්සෙ පළමු මාසය ඇතුළත අපේ ඉස්කොලෙ යන සෑම පාසල් දරුවෙකුටම අතින් සල්ලි දීල හරි කිරි වීදුරුවක් ලබාදෙනවා.
රනිල් වික්‍රමසිංහ මහත්තයා කන්දකැටියට ආවා වෙලාවෙ කීවා හරින්ව මහ ඇමති ධුරයට පත්කරන්න, අපට ආණ්ඩුවේ සල්ලි අවශ්‍ය නෑ පිටරටින් ආධාර ගෙනල්ලා හරි ඌව පළාත දියුණු කරලා මේක ලංකාවේ දියුණුම පළාත බවට අවුරුදු 2-3කින් පත්කරනවා කියලා.
එදා දයා ගමගේ කන්දකැටියෙදි පොරොන්දු වුණා හරින් ප්‍රනාන්දු දිනවලා දෙන්න, හත් අටසීයක සේවකයො දාන ෆැක්ටරියක් කන්දකැටියේ හදලා දෙනවා කියලා.
මට අවුරුදු 34 යි, මම දේශපාලනයේ විශාල තීන්දුවක් ගත්ත කෙනෙක්. ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ විශ්වාසය තියාගන්න. රැල්ල හැරිලයි තියෙන්නෙ. මේ පාර සුනාමි රැල්ලක් වගේ එක්සත් ජාතික පක්ෂය දිනවලා අපි ආණ්ඩුව හදන වැඩේ පටන්ගන්නවා” යනුවෙන්ද හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
එන්. කේ. නිශ්ශංක