ගැබිනි සායනයක් පූර්ව ප්රතිකාර හෝ උපදෙස් නොලබාම, කාන්තාවකගේ පිහිටෙන්, සිය නිවසේදී දරුවන් සත්දෙනෙක් බිහිකළ කාන්තාවකගේ කතාවක් උච්චිමුණේ ප්රදේශයෙන් වාර්තාවෙයි. දරුවන්ගේ උපත සනාථ කරන ලබන කිසිදු ලියවිල්ලක් නොමැතිවීම නිසා ඔවුහු අසරණ වී සිටිති.
උච්චිමුණේ පදිංචි නිරූපා ඩයස් (31) ඔවුන්ගේ මව වෙයි. ඇයට මෙම සියලු දරු ප්රසූති සදහා සහාය වී ඇත්තේ පාට්ටි නම් ඇගේ මවගේ නැගණියයි.නිරූපාගේ දරු සත් දෙනාම පිරිමි දරුවෝ වෙති.ඔවුන් පිළිවෙළින්අජිත් සිල්වා (අවුරුදු15 ),ජයන්ත සිල්වා (අවුරුදු 13 ),රමේශ් සිල්වා (අවුරුදු 11),සතිස් සිල්වා (අවුරුදු 09),අදීශ සිල්වා (අවුරුදු 06 ),කවුෂික් සිල්වා (අවුරුදු 04 ),උදය සිල්වා (අවුරුදු 01) වෙති.
උප්පැන්න සහතිකයක උරුමය නොමැති මෙම දරුවන්,උච්චිමුණේ රජයේ විදුහලේ විදුහල්පතිතුමාගේ කාරුණික අනුග්රහය මත,පාසැලට ඇතුළුකර ගෙන ඇතත් විධිමත් ලෙස පාසැල් නොයන බව වාර්තා වේ.
මොවුන්ගේ ආර්ථික තත්ත්වය ද ඉතා පහළය.පියා මෙම දරු පවුල අත් හැර ගොස්ය. වැඩිමහලු දරුවා වන 15 හැවිරිදි අජිත් කුලී වැඩකින් හරි හම්බ කර දෙන දෙයකින්, සිය දරු පවුල රැකෙන බව නිරූපා පවසයි.
මෙම සත් දරුවන්ට ඉඳ හිට වැලදෙන සාමන්ය උණ සෙම්ප්රතිශ්යාවක් හැර, කිසිදු රෝගක් වැලදී නොමැති බව මව පැවසුවාය.කිසිදු රජයේ ආයතනයක හෝ නිලධාරියෙකුගේ අවධානය සිය පවුල වෙත යොමු වී නොමැති බව පවසන නිරූපා,දැනට තම පවුලට උදව් උපකාර සිදු කරන වර්ල්ඩ් විශන් ආයතනයට (කල්පිටිය කලාපය) සිය කෘතඥතාව පළ කිරීමට අමතක නොකළාය.
කල්පිටිය -කුමාරී කොට්ටහච්චි