උතුරේ නිසි පාලනයක් නොමැති බවත්, ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවට උතුරු මහඇමතිවරයා සිදුකළ ප්‍රකාශය ඉතා බලගතු ප්‍රකාශයක් හා පදනම් විරහිත දේශපාලනික අවශ්‍යතාවක් මත සිදුකළ ප්‍රකාශයක් හැරෙන්නට ජනතාවගේ අවශ්‍යතාවක් මත සිදුකළ ප්‍රකාශයක් නොවන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, උතුරේ නිසි පාලනයක් නොමැති වීම හා එම කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවට උතුරු මහ ඇමති සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමේදීය.
එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,
"උතුරේ ඉතා සීමිත දේශපාලඥයන් පිරිසක් බහුතර මතය කියල හිතන් ඔවුන්ගේ දේශපාලනික මතයන් ඉදිරිපත් කරනවා. දැන් උතුරේ අලුත්ම රෝගයක් ඇතිවෙලා තියෙනවා මොනදේ වුණත් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටීම. ඒකට උදාහරණයක් විදිහට උතුරු මහඇමති කිවුවා පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයන්ට විෂ එන්නත් වී ඇති හෙයින් මෙරට වෛද්‍යවරුන් නොව විදේශ වෛද්‍යවරුන් අවශ්‍ය බවට.
ඒ වගේම යුද අපරාධ සම්බන්ධයෙන් විදේශ විනිසුරුවරුන්ගේ අවශ්‍යතාව. මේවා කිසිම පදනමක් රහිත ප්‍රකාශයන්. ඒ වගේම එතුමන් සමහර අවස්ථාවලදී කටයුතු කරන්නෙ ඔහුගේ අවශ්‍යතා ඉටුකර ගන්නද කියල මට සැකයි. එතුම ඔය කියල තියන අලුත් ප්‍රකාශයේ පිටපත මට තාම හමු වී නැහැ. එහෙම ප්‍රකාශයක් කියල තියෙනවනම් ඒක ඉතා බලගතු ප්‍රකාශයක්." යනුවෙන් පැවසීය.