උතුරු නැගෙනහිර පළාත් එක්ව තිබිය යුතු බවත්, එය මුස්ලිම් ජනතාව ප්‍රතික්ෂේප කළොත් ඔවුන්ගේ සහයෝගය ලබාදෙන ලෙස මුස්ලිම් නායකත්වයෙන් ඉල්ලා සිටින බවත් දෙමළ එක්සත් නිදහස් පෙරමුණු නායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය වී. මුරලීදරන් කරුණා අම්මාන් මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (07දා) එම පක්ෂයේ කල්ලඩි මූලස්ථානයේදී පැවැති දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ පුවත්පත් සමුළුවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ කරුණා අම්මාන් මහතා,
''උතුරු නැගෙනහිර එක්ව තිබිය යුතු යන්න අලුත් කතාව නොවෙයි. එය පියා සෙල්වාගේ අරමුණයි. එය කිසිවෙකුට වෙනස් කළ නොහැකියි. පළාත් සභා සංශෝධිත පනතට පක්ෂව ඡන්දය දීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධාන සම්බන්දන් මහතාද දෙමළ ජනතාවන් පාවාදුන්නා. මුස්ලිම් නායකත්වයද එසේමයි. එය කළේ මන්දැයි අපි දන්නේ නැහැ. අපගේ පක්ෂ උතුරු නැගෙනහිර පළාත් එක්විය යුතු යන අදහස් දරනවා'' යැයි පැවසීය.
මේ අවස්ථාවට පක්ෂයේ ලේකම් වී. කමලදාස්, හිටපු පාළාත් අමාත්‍ය කේ. නවරෙඩ්නරාජා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.
මඩකලපුව - ජවුෆර්කාන්