යුද්ධය නිමවීමෙන් පසු උතුරු දුම්රිය මාර්ගය පිළිසකර කිරීම සඳහා විදේශ ණය සහ දේශීය අරමුදල් මගින් රුපියල් කෝටි 7300කට ආසන්න මුදලක් වැයකර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව විදේශ ණය වශයෙන් රුපියල් කෝටි 6842කට වැඩි මුදලක්ද, දේශීය අරමුදල් වශයෙන් රුපියල් කෝටි 440කට වැඩි මුදලක්ද වැය කර ඇතැයි නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
2011-13 දක්වා කාලය තුළදී විදේශ ණය යටතේ රුපියල් කෝටි 3443 ක් හා දේශීය අරමුදල් මගින් රුපියල් කෝටි 241ක්ද, 2014 වසරේදී විදේශ ණය යටතේ රුපියල් කෝටි 2028 ක් හා දේශීය අරමුදල් යටතේ රුපියල් කෝටි 73ක්ද, 2015 වසරේදී විදේශ ණය යටතේ රුපියල් කෝටි 1371 ක් හා දේශීය අරමුදල් මගින් රුපියල් කෝටි 54ක්ද, 2016 වසරේදී දෙශීය අරමුදල් මගින් පමණක් රුපියල් කෝටි 69ක්ද, 2017 වසරේදී දේශීය අරමුදල් මගින් රුපියල් කෝටි 03ක්ද වැය කර ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
දැනට එම දුම්රිය මාර්ගයේ දුම්රිය වාර අටක් ගමන් ගන්නා බවද අබේසිංහ මහතා කීවේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂවෙන් යොමුකර තිබුණු පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 1905 අගෝස්තු 01 වැනිදා ඉදිකර ඇති මෙම දුම්රිය මාර්ගයේ 1983 වර්ෂය වනවිට යාල්දේවි දුම්රිය දිනකට ගමන් වාර දෙකක් සිදුකර ඇති බවයි.
එම දුම්රිය මාර්ගය මගින් 1980 වර්ෂයේදී රුපියල් කෝටි 35ක්ද, 1981 වර්ෂයේදී රුපියල් කෝටි 40ක්ද, 1982 වර්ෂයේදී රුපියල් කෝටි 43ක්ද, 1983 වර්ෂයේදී රුපියල් කෝටි 44ක්ද ආදායම ලබා තිබුණු බවද අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
1983 වර්ෂය වනවිට කොළඹ සිට යාපනය දක්වාද, යාපනය සිට කොළඹ දක්වාද වාර්ෂිකව ගමන් ගත් මගීන්ගේ දත්ත නොමැති බවත්, 1985 ජනවාරි 19 සහ 1986 මාර්තු 25 දිනවල දුම්රිය මාර්ගය ත්රස්තවාදීන් විසින් විනාශ කර තිබීමෙන් සිදු වූ විනාශය කොපමණදැයි ගණනය කිරීමක් සිදුකර නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.