උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පැසසුම් හිමි වී තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් මහතා ඊයේ (26) උදෑසන නිව්යෝක් නුවරදී හමුවූ අවස්ථාවේදී හෙතෙම මෙසේ පවසා ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වැනි සැසිවාරයට පරිබාහිරව පැවති මෙම සුහද සාකච්ඡාව ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු වූ සාකච්ඡාවක් බව පැවසේ.
ආර්ථික හා සංවර්ධන ක්ෂේත්රවල ශ්‍රී ලංකාවේ මෑතක සිදුවීම් සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්රතිසන්ධාන කටයුතු පිළිබඳව රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා දැනුම්වත් කර තිබේ.
"උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම මෙතරම් හොඳින් සම්පූර්ණ කිරීම ඔබතුමාට කීර්තියක්," ඇබට් අගමැතිවරයා, ජනාධිපතිවරයාට පවසා ඇති අතර, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය 7.8% ක්ව පවත්වාගෙන යාමත්, එය වසර අවසන් වනවිට තවදුරටත් වැඩි විය හැකි වීම, "අපූර්ව සිද්ධියක්" සේ තමන් සලකන බවත් ඔහු පවසා තිබේ.
දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳව ද, නායකයෝ දෙදෙන සාකච්ඡා කළහ.
ඔස්ට්‍රේලියාව මුහුණ දෙන මිනිස් ජාවාරම පිළිබඳ ගැටලුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා, "ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය පිළිබඳව මා ඉතා කෘතඥ වෙනවා ," යයිද අගමැතිවරයා පවසා තිබේ.