උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මේ හැකි සෑම නිර්දේශයක්ම ක්‍රියාත්මක කිරීමට රජය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසා සිටියේය.
2012 ජූලි මාසයේ රජය එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම අනුමත කිරීමෙන් පසු මේ ක්‍රියාමාර්ග ගත් බවද ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස එක්සත් ජාතීන්ගේ ජිනීවා නිත්‍ය නියෝජිතයන්ට ශ්‍රී ලංකාවේ ප්රතිසන්ධාන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ අදහස් දක්වමින් පසුගිය 21දා ලේකම්වරයා මෙසේ අදහස් දක්වා තිබිණි.
2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊය පරාජය කිරීමෙන් පසු , ගැටුම නිසා පීඩාවට පත්ව සිටි අයගේ දිවිපෙවෙත යථා තත්ත්වයට පත් කිරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි කල ලේකම්වරයා, අන්තර්ජාතික මානුෂවාදී නීතියට අදාළ ගැටළු, මානව අයිතිවාසිකම්, ඉඩම් ආපසු ලබාදීම හා පුද්ගලයන් යළි පදිංචි කිරීම, සහන සැලසීම හා ප්රතිසන්ධානයට අදාළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වූ නිර්දේශ ක්‍රියාවට නැංවීමට ගත වූ 18 මාසය තුළ රජය විසින් ක්‍රියාවට නංවා ඇති වැඩසටහන්ද විස්තර කළේය.
එමෙන්ම, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සමග ශ්‍රී ලංකාව සහයෝගයෙන් ක්‍රියාකරන බව පෙන්වා දුන් ලේකම්වරයා, රජයේ ආරාධනයෙන් මහ කොමසාරිස්වරිය මෙරට සිදුකළ සංචාරයෙන් පසු අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන් පිළිබඳ විශේෂ නියෝජිතයා ශ්‍රී ලංකාවට පැමිණි බවද පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා පවසා සිටියේ, විගමනිකයන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතයා ලබන මැයි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත්, අධ්‍යාපන හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතයාටද ආරාධනා කර ඇති නමුත් මේ වසර තුළ ඔහුට පැමිණීමට නොහැකි බවට දන්වා ඇති බවය.
මෙහි ප්‍රශ්නෝත්තර කාලයේදී බොහෝ රටවල නියෝජිතයන් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජයේ කැපවීම හා රජය දරන උත්සාහය අගය කර ඇති බවද පැවසෙයි.