ජන බලවේග ඒකරාශී කරමින් රටේ අනාගත අගමැතිවරයා බිහිකිරීමට පිවිතුරු හෙටක් ජාතික සභාව සූදානම් යැයි එහි සභාපති අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
අනාගත ආණ්ඩුවක් බිහිවීම සඳහා ජනතාවට නිවැරදි මග කීම පිණිස විශාල ජන බලවේග ඒකරාශී කරමින් සන්ධාන හෝ පෙරමුණු පිහිටුවමින් ජනතා එකමුතු සෑදීමට එම සභාව ඉදිරිපත් වන බව රතන හිමියෝ ප්‍රකාශ කළහ. ඒ ඊයේ (06දා) කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතා සේවක පක්ෂය, ආනන්ද සංගරී මහතා නායකත්වය දෙන ද්‍රවිඩ එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප පෙරමුණ, මාර්තු 12 ප්‍රකාශය, ජාතික හෙළ උරුමය ඇතුළු වෘත්තීය සංගම් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් එම මාධ්‍ය හමුව පැවැත්විණි.
එළඹෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමේ වගකීම ජනාධිපතිවරයා දැරිය යුතු බවත්, නාමයෝජනා පත්‍ර සකස් කිරීමේදී හොරුන්, කුඩු ව්‍යාපාරිකයන්, එතනෝල් ජාවාරම්කරුවන්ට අවස්ථා ලබානොදීමට ඔහු ක්‍රියාකළ යුතු බවත් රතන හිමියෝ අවධාරණය කළහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය පුළුල් කර නව ජනතා බලවේග හා පක්ෂ ඒකරාශී කරමින් ජනතා නියෝජිතයන් පත් කිරීමට ක්‍රියාකළ යුතු අතර, පාර්ලිමේන්තුවට නුසුදුස්සන් පත්වීමට ඇති ඉඩ වළකන 20 වැනි සංශෝධනය සම්මත නොකිරීමේ වරද කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවද රතන හිමියෝ එහිදී පැවසූහ.
“අප පසුගිය සෙනසුරාදා කළ සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහත්තයාට නාමයෝජනා දීම ගැන විශාල විරෝධයක් ආවා. කරුණ ජනවාරි 08 වැනිදා ජයග්‍රහණය මහින්ද රාජපක්ෂට යට නොවීමට අප බලපෑම් කළ යුතු ආකාරයයි. එහි එක් ස්ථාවරයක් හැටියට ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වුණා. පක්ෂ විනයානුකුල ප්‍රශ්නයකට වඩා ජාතික ගැටලුවට විසඳුම් සොයන, රටට හිතකර ප්‍රතිපත්ති සෑදීමට මම ජාතික හෙළ උරුමය සමග හිඳිමින් පාර්ශ්ව සමග සාකච්ඡා කළා. එහි ගැටලුවක් නැහැ.
අපේ සාකච්ඡාවේදී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට අප සාකච්ඡා කළා. ජනවාරි 08 දිනූ ජනාධිපතිවරයාට පක්ෂයක් නැතිව ඉන්න තිබුණා. නමුත් ඔහු නිදහස් සන්ධානයේ හා නිදහස් පක්ෂයේ නායකයා වීමෙන් දේශපාලන කලබැගෑනියක් ඇති වුණා. සමාජය අපෙන් ප්‍රශ්න කරනවා. යහපාලනය අරභයා වූ දේශපාලන වෙනසින් මහින්ද රාජපක්ෂට කිසිසේත්ම නැවත ජනපති විය නොහැකියි. ආයේ ඔහුට ඒකාධිපතියෙකු වෙන්න බැහැ.
හොරුන්ට දඬුවම් නොදීම ගැන නිදහස් පක්ෂයේ හොරුන්ට ශක්තිය ලැබෙන පරිදි වැඩ කළ එක්සත් ජාතික පක්ෂය වග කිවයුතුයි. මම අගමැතිවරයාට වරක් කීවා 20 සංශෝධනය කරනවා නම් නැවත මම දේශපාලනයට නොඑන්නම් කියා. අපට ඒ තරම් උවමනාවක් තිබුණා.
නමුත් රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සංහිඳියාව නැති කළා. අප සාකච්ඡා කළ පරිදි මැතිවරණයෙන් මාස 03 ක් තුළ මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතුයි. එසේම සුළු ජාතික පක්ෂ, සුළු මතවාද දරන පක්ෂවලටද අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ හැදිය යුතුයි"{ යැයි රතන හිමියෝ ප්‍රකාශ කළහ.
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ඩී.ඩබ්. සුභසිංහ, අශෝක අබේගුණවර්ධන යන මහත්වරුන්ද එහිදී අදහස් දැක් වූ අතර, උදේනි දිසානායක, ජයන්ත විජේසිංහ, ආර්. සංගයියා මහත්වරුද මාධ්‍ය හමුවට සහභාගී වූහ.