අසූ අට අසූ නවය වසරවල පැවැති අරගලයේදී දිවි පිදූවන් සමරන ඉල් මහ සමරුව පක්ෂ තුනක් විසින් ස්ථාන 06කදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඉල් සමරු උත්සවය මේ මස 13 වැනිදා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මීට අමතරව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ස්ථාන හතරකදී ඉල් මහ විරු සැමරුම පැවැත්වීමට කටයුතු කරන බව එම පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.
මේ අනුව නිට්ටඹුව හොරගොල්ල සණස ශාලාව, අළුත්ගම නගර ශාලාව, බදුල්ල නගර ශාලාව සහ දඹුල්ල නගර ශාලාව යන ස්ථානවලදී මෙම උත්සව පැවැත්වෙන බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව ජනතා සේවක පක්ෂයද කොළඹ නගරයේදී ඉල් මහ සමරු උත්සවයක් පවත්වන බවත්, එහිදී පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නොවැම්බර් 12 වැනිදා අත්අඩංගුවට ගත් නිසා මේ මස 12 වැනිදා ඉල් මහ සමරුව පවත්වන බවත් එම පක්ෂයේ මහලේකම් ජයන්ත විජේසිංහ මහතා සඳහන් කළේය.
මෙම උත්සවය සඳහා රෝහණ විජේවීර මහතාගේ බිරිද වන චිත්‍රාංගනී විජේවීර මහත්මියටද ආරාධනා කළ බවද හෙතෙම පවසා සිටියේය.