ඉරාකයේ මොසුල් නගරය IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගෙන් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත ඉරාක හමුදාවේ විශේෂ බලකායන් නැගෙනහිරින් නගර සීමාව වෙත ප්රථම වරට ඇතුළු වී තිබේ.
එහිදී, ත්රස්තයන් විසින් රොකට් විදිනයන්, මෝටර් ප්රහාර සහ මැෂින් තුවක්කු යොදාගනිමින් ඉදිරියට ඇදෙන හමුදාව වෙත දිගින් දිගටම ප්රහාර එල්ල කරන බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, ඉරාක අගමැති හයිදර් අල්-අබාදි පවසා සිටියේ 3,000ත් - 5,000ත් අතර ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් පිරිසක් නගරය තුළ රැඳී සිටින බවයි.
2014 ජූනි මාසයේදී ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් අතට පත්වූ මෙම නගරය යළි අත්පත් කරගැනීම සඳහා සිදුවන මෙහෙයුමේදී දැනට නගරයේ කොටුවී සිටින ත්රස්තයන්ට තම හමුදාවන්ට යටත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත්, එසේ නොමැති වුවහොත් ඔවුන් මරණයට සූදානම් වන ලෙසත් අගමැතිවරයා රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් පවසා ඇත.
මීට සති දෙකකට පෙර ආරම්භ කෙරුණු මොසුල් නගරය යළි අත්පත් කරගැනීමේ මෙහෙයුමට ඉරාක හමුදාව, කුරුදි සටන්කරුවන්, සුන්නි අරාබි සටන්කරුවන් මෙන්ම, ෂියා සටන්කරුවන්ද අයත් වන බව සඳහන්ය. එමෙන්ම, ඔවුන්ගේ සහායට ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් ප්රහාරවල සහායද ලැබී තිබේ.