බටහිර අප්‍රිකාවේ ඉබෝලා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරමින් සිටියදී ඉබෝලා වැළඳී නැවත ඇමෙරිකාවට ගෙන්වාගත් වෛද්‍යවරයා සහ හෙදිය මේ වනවිට සුවඅතට පත්ව රෝහලෙන් නික්ම ගොස් ඇති බව වාර්තා වෙයි.
33 හැවිරිදි වෛද්‍ය කෙන්ට් බ්‍රැන්ට්ලි මෙන්ම, 59 හැවිරිදි නැන්සි රයිට්බෝල් මේ ආකාරයෙන් සුවය ලබා සිය නිවෙස් බලා ගමන් කර ඇත.
මෙහිදී, මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති වෛද්‍ය බ්‍රැන්ට්ලි තමන් වෙනුවෙන් යාඥා කළ සැමට ස්තූතිය පුද කර සිටි බවද කියැවෙයි.
"මේක පුදුම දවසක්. ඇත්තටම නැවත ජීවිතය ලැබීම ගැනත්, මගේ පවුලේ අය සමග සිටීමට අවස්ථාව උදාවීම ගැනත් මා උද්දාමයට පත්වෙනවා. විදෙස් රටක රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට ගිය මා මෙවැනි තත්ත්වයකට පත්වනු ඇති බව කිසිදා සිතුවේ නැහැ." වෛද්‍ය බ්‍රැන්ට්ලි පවසයි.
ඉබෝලා රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටි ඔහු එක් උදෑසනක අවදිවීමට උත්සාහ කළත් දැඩි වේදනාකාරී ස්වභාවයක් ඔහුට දැනී තිබේ. ඒ දැඩි වේදනාවත්, ශරීරය දුර්වලවීමත් නිසා තමන් දින 9ක කාලයක් ඇඳටම වී සිටි බවද හෙතෙම පවසයි.
මොවුන් දෙදෙනා මීට සති දෙකකට පෙර ගුවන් යානා දෙකක් මගින් අවස්ථා දෙකකදී ඇමෙරිකාව වෙත ගෙන්වා ගන්නා ලදී.
ඉබෝලා වෛරසයට ප්‍රතිකාරයක් නොතිබුණත්, වෛද්‍ය බ්‍රැන්ට්ලි මෙන්ම හෙදිය සුව වීම පිටුපස ඔවුන්ට ලබාදුන් පරීක්ෂණ මට්ටමේ පවතින ස්මැප් ඖෂධය සම්බන්ධයෙන්ද මේ වනවිට වැඩි අවධානයක් යොමුව තිබේ.
නමුත්, එම ඖෂධය ලබාදුන් ස්පාඤ්ඤ ජාතික පූජක තැන ජීවිතක්ෂයට පත්වූ අතර, මේ වනවිට ස්මැප් ලබාදෙන ලයිබීරියානු සෞඛ්‍ය සේවකයන් තිදෙනා සුව අතට පත්වීමක් පෙන්නුම් කරන බවද පැවසෙයි.
ඉබෝලා වෛරසය වෙලාගත් බටහිර අප්‍රිකාව තුළ මේ වනවිට පුද්ගලයන් 1,300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් වැඩිම මරණ සංඛ්‍යාව ලයිබීරියාවේදී සිදුව ඇති බව පැවසෙයි.