පසුගිය රජය කාලයේ දී විදුලි බල මණ්ඩලය හා ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට නොගෙවා පැහැර හැර ඇති රුපියල් බිලියන 70 හෙවත් මිලියන හැත්තෑ දහසක මුදල තෙල් සංස්ථාවට ලැබී තිබුණේ නම් ඉන්ධන මිල ඉහළ නොදමන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12දා) හික්කඩුවේ දී පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 2131ක මූල්‍ය ප්‍රතිපාදන මත ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද හික්කඩුව, හබරාදුව, අක්මීමණ හා ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි හතරක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
''මේ රටේ ඉතිහාසයේ හැමදාමත් පත්වූ රජයන් ඉන්ධන මිල ඉහළ දැමුවා. කවදාවත් ඉන්ධන මිල අඩුකළේ නැහැ. නමුත් අපේ රජය බලයට පත්වූ අවස්ථාවේ අපි ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩුවන විට රටේ තෙල් මිල අඩු කරන්නත් වැඩි වන විට හැකිතරම් අඩු මුදලකින් ඉන්ධන මිල වැඩි කරන්නත් ක්‍රමයක් සකස් කළා. ඒ අනුව අපි බලයට පත්වූ වහාම ඉතා විශාල ප්‍රමාණයකින් ඉන්ධන මිල අඩු කරලා අවුරුදු තුනකට ආසන්න කාලයක් අපි ඉන්ධන අඩු මිලට දුන්නා. එයින් රජයට ලැබිය හැකි විශාල ලාභයක් අහිමි වුණා.
නමුත් මේ වෙලාවේ ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල වැඩිවෙලා නිසා අපිට ඉන්ධන මිල වැඩි කරන්න සිදුවුණා. පසුගිය රජය කාලයේ විදුලි බල මණ්ඩලය හා ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 70ක මුදල් ගෙවා තිබුණානම් තෙල් සංස්ථාවට තව දුරටත් රටේ ජනතාවට සහනයක් දෙන්න පුළුවන් කම තිබුණා. නමුත් එසේ කරන්න හැකියාවක් තිබුණේ නැහැ.
ඛණිජ තෙල් සංස්ථාව තවදුරටත් අර රුපියල් බිලියන 70ක මුදල් අයවිය යුතුව තිබියදී තෙල් මිල පැරණි ගණනටම තබාගෙන ගියානම් බැංකු පොළී අනුපාත ඉහළ දමන්න පවා අපට සිදුවනවා. එයින් මහජනතාවට තවත් අපහසුතා ඇති වනවා. නමුත් මා කියන්න කැමතියි ඉතා ඉක්මණින් රජයක් ලෙස අපි නැවත ඉන්ධන මිල අඩුකරන්න කටයුතු කරනවා."