ඉන්ධන මත පනවා ඇති විවිධ බදු ඉවත් කළ හොත් පෙට්‍රල් ලීටරය රුපියල් 90කට ලබාදිය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පැවසීය. කොළඹදී අද (14දා) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
ʻʻඑසේම තමන් කැමති නායකයෙකු ජනතාවට පත් කර ගැනීමට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැටලුවක් බවට පත්ව ඇති හෙයින් එය හකුලා ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
රවී කරුණානායක මන්ත්‍රීවරයා ඉතාම නිවැරදිව සඳහන් කළ ආකාරයට තෙල් මිල ඉහළ දැම්මේ තෙල් මත අධික බදු බරක් පටවා තිබෙන නිසා මිස මිල වැඩි වීමේ ප්‍රශ්නයක් නිසා නොවේ. මෛත්‍රී ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඉන්ධන සදහා අය කරන බදු අඩු කරන බව පවසා සිටියත් ආණ්ඩුව පත්වී අවුරුදු තුනහාමාරක් ගියත් එය තවම ඉටු කර නෑ. තීරු බදු, දේශීය භාණ්ඩ බදු, වරාය සහ ගුවන් සේවා බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු වශයෙන් කෝටි 8,000ක් පමණ ආණ්ඩුව උපයා ගන්නවා. ඒ බදු නැතිනම් පෙට්‍රල් ලීටරය රු 90කට දෙන්න පුළුවන් ඉතාම වගකීමෙන් ජනතාවට කියන්න කැමතියි.
19 වන සංශෝධනය කියන ප්රජාතන්ත්ර විරෝධී සංශෝධනයෙන් තමන් කැමති නායකයා පත් කර ගැනීමේ අයිතිය ජනතාවගෙන් උදුරා ගෙන තිබෙන්නේ. යම් පුද්ගලයෙක් රටේ නායකයා විය යුතුද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ජනතාව මිස ව්‍යවස්ථාව නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දයට ඉදිරිපත් වීමට බාධකය වී තිබෙන්නේ ජනතා කැමැත්ත නැතිකම නෙමෙයි. ව්‍යවස්ථාවේ ඉඩ නැති කම. ඒ නිසා තමන් කැමති නායකයෙකුට රට බාරදෙන්න ලංකාවේ ජනතාවටත් අවස්ථාව දෙන්න ජනතාවගෙන් උදුරාගත් 19 වැනි සංශෝධනය හකුලා ගන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා.ʼʼ යැයි ද පවසා සිටියේය.