ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රාහා මහතා අද (18දා) සවස අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක නිලධාරීන් සමග බොහෝ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය ගුවන් හමුදාපතිවරයා ජනාධිපතිවරයා සමග මෙහිදී පැවසීය.
එමෙන්ම, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාවට අදාළ අඛණ්ඩ පුහුණුවීම් සහ ඒකාබද්ධ ගුවන් ව්‍යායාම යන කරුණු සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණි.
පසුගිය 15 වැනිදා දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදාපතිවරයා, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතර පැවති සාකච්ඡාවට අමතරව, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරරාල් දයා රත්නායක සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා යන මහත්වරු සමගද සාකච්ඡා පැවැත්වීය.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට වැඩභාරගත් රාහා මහතාගේ ප්‍රථම නිල විදෙස් සංචාරය මෙය වන අතර, මෙහිදී ඔහු ශ්‍රී ලංකා යුද හා නාවික හමුදා මූලස්ථාන සහ බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය, ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා ඇකඩමිය සහ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර යන ස්ථානවල සංචාරය කළේය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසරිස් වයි.කේ. සින්හා මෙන්ම තවත් ඉන්දීය ගුවන් හමුදා නිලධාරීහු කිහිප දෙනෙක් සහභාගි වූහ.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ක්ශෙනුකා සෙනෙවිරත්න සහ එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්වූහ.