ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට සැරසෙන යෝජනාව හමුවේ ඉන්දියාවේ ස්ථාවය පිළිබඳ ප්‍රශ්න කිරීමේදී එරට විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් මහතා සෘජු පිළිතුරක් නොදී ‘අපි ප්‍රවේසම් සහගතයි’ යනුවෙන් පවසා ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය විදේශ අමාත්‍යංශ කාර්යාලයේදී ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් පිරිසක් මුණගැසුණු අවස්ථාවේ සල්මාන් කුර්ෂිඩ් මහතා මෙසේ පවසා ඇත.
එමෙන්ම, ඉන්දීය ස්ථාවරය පිළිබඳ නියත පිළිතුරක්දීම ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා තිබෙන හැකියාව ‘දියාරු’ කිරීමක් බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.
“වෙනත් රටවල් සමග සාකච්ඡා කිරීමට පහසු තත්ත්වයක ඉන්නා බව ශ්‍රී ලංකාවට වැටහී ගිය පසු අපට දර්ශනයට ඇතුළු විමට පුළුවන්” යැයි හෙතෙම පවසා තිබේ.
එහිදී, වෙනත් දේශීය හා විදේශීය පාර්ශ්වයන්ගේ විශ්වාසය දිනාගත හැකි අයුරින් කටයුතු කරන ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලීමක්ද කර තිබේ.
ශ්‍රී ලංකාව මානව හිමිකම් ක්ෂේත්රයේ ක්‍රියාකාරීත්වයේත්, පාර්ලිමේන්තු ක්රියාදාමයේත් විශ්වසනීයත්වය තහවුරු කැරෙන අයුරින් කටයුතු කිරීමට පියවර ගත යුතු බව හෙතෙම අවධාරණය කර ඇත.
මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අභියෝගයට ලක් කරන රටවල විශ්වාසය දිනාගැනීම පිණිස රජය පියවර ගත යුතු බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
එහිදී, කැනඩාව වැනි රටවල් ‘දැඩි ස්ථාවරයක’ සිටින බව පැවසූ කුර්ෂිඩ් මහතා, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ‘ඉතාම ක්‍රියාකාරී හා ආක්රමණකාරී’ පිළිවෙතක් ලෙසින්ද හඳුන්වා දී ඇත.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සමුළුව අබියස එකී රටවලින් මතුවන එදිරිවාදිකම් වළක්වා ගැනීම සඳහා පියවර ගත යුතු යැයි ශ්‍රී ලංකාවෙන් උදක්ම ඉල්ලා සිටින බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
ඒ අතරම, පමණට වඩා කලබල නොවන ලෙසත් ඔහු විදේශීය රටවලින්ද ඉල්ලීමක් කර ඇති බව පැවසෙයි.
බී.බී.සී.ය පෙන්වා දෙන්නේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවකට ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින බවට ඉඟියක් පලවී දැයි යන හැඟීමක් මේ ඔස්සේ ඇතිවි තිබෙන බවය.
ජාතික ප්රශ්නය විසඳීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය සහභාගී කරවා ගැනීම සඳහා අනිකුත් පක්ෂවල විශ්වාසය දිනාගැනීමට කටයුතු කරන ලෙසත් ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් මහතා මාධ්‍යවේදීන් හමුවේ ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලීමක් කර ඇති බව බී.බී.සී.ය පෙන්වා දෙයි.