ඉතාලියේ මධ්‍ය-වාමාංශික දේශපාලඥයෙකු වන, හිටපු ෆ්ලොරෙන්ස් නගරාධිපති මැට්ටිඕ රෙන්සි එරට එදාමෙදා තුර පත්වූ ලාබාලතම අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට සූදානමින් සිටියි.
නව රජයක් පිහිටුවීම සඳහා වූ ආරාධනය ඊයේ (21දා) ඔහු නිල වශයෙන් භාර ගනිමින් ඒ සඳහා කැබිනට් මණ්ඩලයක් පත්කර ගනු ලැබීය.
කෙසේ වෙතත් අත්දැකීම් අඩු දේශපාලඥයෙකු ලෙස විචාරකයන් පෙන්වාදෙන 39 හැවිරිදි රෙන්සිගේ නව අමාත්‍ය මණ්ඩලයෙන් අඩක්ම කාන්තාවන් වීම විශේෂත්වයක් වන බවද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
එමෙන්ම, මෙම නව රජය පිහිටුවීම සඳහා ඔහුට වෙනත් පක්ෂ සමග සන්ධානගත වීමටද සිදුවිය.
ඉතාලියේ හිටපු අගමැති හා තම පක්ෂයේම සාමාජිකයෙකු වූ එරින්කෝ ලෙට්ටා බලයෙන් පහ කිරීමට මේ මස මුලදී ඡන්දයක් කැඳවීමට ක්‍රියා කළේද රෙන්සි විසිනි.
කෙසේ වෙතත් තම නව සන්ධාන රජයට ආර්ථික අතින් පල්වූ ඉතාලියට අලුත් බලාපොරොත්තුවක් ලබාදීමට හැකිවනු ඇති බව රෙන්සි අවධාරණය කළේය.
දැනට කඩා වැටී ඇති රැකියා වෙළෙඳ පොළ යළි ස්ථාවර කිරීම මෙන්ම, රටේ බදු පද්ධතිය සහ අධ්‍යාපන පද්ධතිය මාස හතරක් ඇතුළත යථාතත්ත්වයට පත්කරන බවටද ඔහු පොරොන්දු විය.
ඊයේ (21දා) තම නව කැබිනට් මණ්ඩලය පත්කිරීමෙන් පසුව අගමැතිවරයා කියා සිටියේ මේක හෙට ඉඳන්ම වැඩ පටන් ගන්නා රජයක් යනුවෙනි.
නමුදු, රෙන්සිගේ නව රජය නිල වශයෙන් වැඩඇරඹීමට පෙර ලබන සඳුදා (24දා) එරට පාර්ලිමේන්තුවේදි විශ්වාසය පළ කිරීමේ යෝජනාවකින් ජය ගත යුතු බවද රෙන්සි සිහියේ තබාගත යුතුව ඇත.