ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (ඉට්කා ගිවිසුම) සම්බන්ධයෙන් ආණ්ඩුව අධිපතිවාදී ආකල්පයකින් පසුවන බවත්, මේ හේතුවෙන් එරට සමග පවතින වෙළෙඳ සම්බන්ධතාව හොඳ අතට හරවා ගැනීමට තිබෙන අවස්ථාව අහිමිවීමට ඉඩ තිබෙන බවත් හිටපු ජනාධිපති
පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මෙම පසුබිම තුළ ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට පෙර පාර්ලිමේන්තුවේ සභාගතකොට ඒ පිළිබඳව වාණිජ සංගම්, වෘත්තීයවේදීන්ගේ සංගම් සහ මහජනතාවගේ අදහස් විමසන්නැයි ආණ්ඩුවට යෝජනා කරන බවද හිටපු ජනාධිපතිවරයා ප්රකාශ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනුයේ, අදියර දෙකකින් එට්කා ගිවිසුම අත්සන් කරන්නැයි ආණ්ඩුවට යෝජනා කරන බවයි. ඒ අනුව දැනට ඉන්දියාව සමග ක්රියාත්මක නිදහස් වෙළෙඳ ගිවිසුමේ ප්රශ්න නිරාකරණය කරගත යුතු බවත්, ලංකාවේ පාර්ශ්වයන් සෑහීමකට පත්වන අයුරින් පැරණි ගිවිසුම ඉදිරියට ගෙනයන අතරතුර එට්කා ගිවිසුම ඇතිකරගැනීම සඳහා නිශ්චිත විධිවිධාන සාකච්ඡා කළ යුතු බවත් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
දැනට දෙරට අතර පවතින වෙළෙඳාම පිළිබඳ ප්රශ්න විසඳීමෙන් තොරව සම්බන්ධතා පුළුල් කිරීමට උත්සාහ කළහොත් ජනතා විරෝධයක් පැනනැගීම වැළැක්විය නොහැකි බවද ඒ මහතා පවසයි.
දෙරට අතර යෝජිත ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම ක්රියාත්මක වන ආකාරය පිළිබඳව සවිස්තර වගන්ති එහි තිබිය යුතු බවත්, නිශ්චිත කාරණා පසුවට සාකච්ඡා කරනවා යැයි කියා ගිවිසුමේ රාමුවකට අත්සන් තැබීමට ආණ්ඩුව ඉක්මන් නොවිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරනුයේ, ශ්රී ලංකාවේ සේවා අංශය පුළුල් කරන්නේ නම් එයට අදාළ සීමාවන් මොනවාද යන්න ආණ්ඩුව රටට පැවසිය යුතු බවයි.