(UPDATE) ඉක්වදෝරයේ වෙරළ කලාපයේ රික්ටර් පරිමාණ 5.9 ක සහ රික්ටර් පරිමාණ 6.4 ක ප්‍රබල භූ කම්පන දෙකක් විනාඩි 10ක කාල පරාසයක් තුළ ඇති වී තිබේ.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙන පරිදි එස්මෙරල්ඩාස් පළාතේ, 60,000ක පමණ ජනතාවක් වෙසෙන රෝසා සරාටේ නගරයට වයඹදිගින් කිලෝමීටර් 32ක් ඔබ්බෙන් මෙම භූ කම්පන දෙකම ඇති වී තිබේ.
මෙම භූ කම්පන දෙක විශාල ප්‍රදේශයක් වෙත තදින් දැනී ඇති බවත්, බොහෝදෙනෙකු තම නිවාසවලින් ඉවතට පැන මංමාවත් ආදී එළිමහන් තැන්වල රැඳී සිටින බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
ඇතැම් පළාත්වල විදුලිබලය ඇණහිටීමක් පිළිබඳව වාර්තා වන අතර, මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපොළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා නොවෙයි.
මේ අතර, සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර නොමැති අතර, පළාතේ සියලු පාසල් යළි දැනුම්දෙන තුරු වසා දැමෙන බව පවසා තිබේ.
ඉක්වදෝර ජනපති රෆායෙල් කොරෙයා ජනතාවට සන්සුන්ව සිටින ලෙස පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, 13,000ක හමුදා සහ පොලිස් බලඇණියක් සහන කටයුතු වෙනුවෙන් දැනටමත් සූදානම් කර ඇති බවද කියයි.
මෙම වසරේදී ඉක්වදෝරය භූ කම්පන කිහිපයකටම මුහුණදුන් අතර, පසුගිය අප්‍රේල් 16 වැනිදා සිදුවූ රික්ටර් පරිමාණ 7.8ක භූ කම්පනය මිනිස් ජීවිත 661ක් බිලි ගනිමින්, 27,000කට වැඩි පිරිසකට තුවාල සිදුකළේය.