පිළිකා කාරයක් ලෙස හඳුනාගෙන ඇති ඇස්බැසටොස් නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව 2018-01-01 දින සිට ඇස්බැස්ටෝස් ආශ්රිත නිෂ්පාදන භාවිතය, ආනයනය සහ නිෂ්පාදනය සීමා කිරීමටත්, 2024-01-04 දින සිට රට තුළ ඇස්බැස්ටෝස් ආශ්රිත නිෂ්පාදනයන් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් නියමිතය.
සෙවිලි තහඩු පොළොවේ අතුරන ටයිල් වර්ග, සිමෙන්ති පයිප්ප, වාහනවල බ්රේක් පෑඩ්ස්, කඩදාසි, ලණු ආදි නිෂ්පාදන රාශියක් සඳහා ඇස්බැස්ටෝස් ඛනිජය භාවිත කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් (WHO) පිළිකා කාරකයන් ලෙස හඳුනාගනු ලැබූ නිල් ඇස්බැස්ටෝස් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම 1987 වසරේ සිට තහනම් කර තිබේ.
වර්තමානය වනවිට ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිත කෙරෙන්නේ සුදු ඇස්බැස්ටෝස්ය. නමුත් ඒවාද පිළිකා කාරකයන් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සුදු ඇස්බැස්ටෝස්වලින් 80%ක් පමණ වහලවල් සඳහා වන සෙවිලි තහඩු නිෂ්පාදනය සඳහා යොදා ගනියි. ඇස්බැස්ටෝස් මගින් සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම් අවම කරගනිමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව මෙන්ම වෙනත් ලාභදායී ආදේශක වෙත යොමුවීමට ඇස්බැස්ටෝස් ආශ්රිත නිෂ්පාදන මෙසේ තහනම් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.