2016 තුන්වැනි කාර්තුවේ ඇස්තමේන්තුගත ශ්‍රම බලකාය මිලියන 8.4 යි
2016 තුන්වැනි කාර්තුවට අනුව ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත ශ්‍රම බලකාය මිලියන 8.4ක් පමණ වන බවත්, ඉන් 63.5%ක ප්‍රතිශතයක් පිරිමි ජනගහනය වන අතර, 36.5%ක ප්‍රතිශතය ගැහුනු ජනගහනය බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
වයස අවුරුදු 15 හා ඊට වැඩි ජනගහනය ශ්‍රී ලංකාවේ වැඩකරන වයසේ පසුවන ජනගහනය ලෙස සලකන අතර, වැඩකරන වයසේ ජනගහනය අතරින් සලකනු ලබන යොමු කාලය තුළ රැකියා නියුතු හෝ රැකියා විරහිත මුළු ජනගහනය ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනය හෙවත් ශ්‍රම බලකාය වෙයි.
මේ අතර, 2016 තුන්වැනි කාර්තුවට අදාළ සමික්ෂණ ප්‍රතිඵලවලට අනුව සමස්ත ශ්‍රමබල සහභාගිත්වතා අනුපාතය 53.8ක් වන අතර, පුරුෂයන් හා ස්ත්‍රීන් සඳහා ශ්‍රමබල සහභාගිත්වතා අනුපාත පිළිවෙළින් 75.0% හා 36.1% වේ. ශ්‍රම බලකායාට අයත් වන පුද්ගලයන් සංඛ්‍යාව වැඩකරන වයසේ ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රමබල සහභාගිත්වතා අනුපාතය (LFPR) සැලකෙයි.
එමෙන්ම, මෙම කාර්තුව සඳහා ඇස්තමේන්තුගත රැකියා නියුක්තිකයන් ප්‍රමාණය මිලියන 8.0ක් වේ. ඒ අතුරින් 46.1%ක් සේවා අංශයේද, 27.1%ක් කෘෂිකර්මික අංශයේද, 26.8%ක් කර්මාන්ත අංශයේද නිරත වී ඇත. ඉහළම සේවා නියුක්තියක් සේවා අංශයේ දක්නට ලැබෙන අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම එම රටාව දක්නට ලැබේ. තවද, රැකියා නියුක්තියෙන් 68.0%ක ප්‍රතිශතයක් සතියකට පැය 40කට වඩා වැඩකර ඇති බව වාර්තා වී ඇත.
පුද්ගලයෙකු අදාළ යොමු කාලය තුළ අඩුම තරමින් පැයක්වත් වැටුප් ලබන සේවකයෙකු, සේවායෝජකයෙකු, තමාගේ වැඩකටයුතු කරන්නෙකු හෝ පවුලේ ආර්ථිකයට දායකවන්නෙකු ලෙස කිසියම් වැඩක නිරතවූයේ නම් එම පුද්ගලයා රැකියා නියුතු පුද්ගලයෙකු ලෙස නම් කරයි.
අදාළ යොමු කාලය තුළ රැකියාවක් නොමැති පෙර සති 4 තුළ රැකියාවක් සොයමින් සිටින, රැකියාවක් සෙවීමට කිසියම් ක්‍රියා මාර්ගයක් හා ඉදිරි සති 2 තුළ රැකියාවක් ලැබුණහොත් එය කිරිමට හැකියාව ඇති පුද්ගලයන් රැකියා විරහිත පුද්ගලයන් සේ සලකනු ලබයි. මුළු රැකියා විරහිත පුද්ගලයන් ප්‍රමාණය, ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස ගත්විට විරැකියා අනුපාතය ලෙස හඳුන්වනු ලබයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා නිවේදනය කර සිටියේ 2016 තුන්වැනි කාර්තුවේදී ඇස්තමේන්තුගත රැකියා වියුක්ති අනුපාතය 4.5% වන බවයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් රැකියා නියුක්තිය, රැකියා වියුක්තිය හා ශ්‍රම බලකාය වැනි සංඛ්‍යාති රැසක උපනතිය පිළිබඳ කාලීන දත්ත ඉදිරිපත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණය පවත්වනු ලබයි. මෙම සමීක්ෂණය 1990 වසරේ සිට කාර්තුමය පදනමක් යටතේ වාර්ෂිකව පවත්වාගෙන යනු ලබන අතර, 2016 දී පැවැත්වූයේ එම සමීක්ෂණ මාලාවේ 36 වැන්නයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවාස ඒකක 6,440ක නියැදියක් භාවිතයෙන් 2016 වසරේ තුන්වැනි කාර්තුව සඳහා ශ්‍රමබල සංඛ්‍යාති නිකුත් කර තිබූ අතර, එම කාර්තුවේ ක්ෂේත්‍ර කටයුතු 2016 ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවල මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකර තිබේ.