ඇමෙරිකාවේ ජාතික බුද්ධි අංශ අධ්යක්ෂ ජේම්ස් ක්ලැපර් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ක්ලැපර් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් පවසා ඇත්තේ, තමාගේ වසර 50ක සේවා කාලය අවසන් කිරීමට කාලය පැමිණ ඇති බව විශ්වාස කරන බවයි.
ඇමෙරිකාවේ අභ්‍යන්තර බුද්ධි තොරතුරු කමිටුව හමුවේදී ඔහු පවසා සිටියේ තවත් දින 64ක කාලයක් ඉතිරිව තිබියදී තමන් මේ ආකාරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
එරට තේරීපත් නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කැබිනට් පත්වීම් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින කාලයේදී ක්ලැපර් මේ ආකාරයෙන් සිය ධුරයෙන් ඉවත් වීමද විශේෂත්වයකි.
ඔහු 2010 වසරේදී එරට ජාතික බුද්ධි අංශයේ සිව්වැනි අධ්යක්ෂවරයා ලෙස වැඩ භාරගන්නා ලද අතර, සිය සේවා කාලය තුළදී ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ කිර්තිනාමය ආරක්ෂා කිරීමටද ඔහුට සිදුවිය. ඒ හිටපු බුද්ධි තොරතුරු නිලධාරියෙකු වූ එඩ්වඩ් ස්නෝව්ඩන් විසින් ඒ සම්බන්ධයෙන් කළ හෙළිදරව්වක් නිසාවෙනි.
විශේෂයෙන්ම ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් එරට ජනතාවගේ දත්ත හා තොරතුරු රහසේ එක්රැස් කරන බවටත්, ඇමෙරිකානු වැසියන් පිළිබඳ සෝදිසියෙන් සිටින බවටත් ස්නොව්ඩන් විසින් සිදුකළ හෙළිදරව්ව ජාතික ආරක්ෂක ඒජන්සියේ කීර්ති නාමයට මහත් කැළලක් සිදු කළේය.
කෙසේ වෙතත්, ජනපති ඔබාමාගේ ජනාධිපති ධුර කාලයේ අවසානය වනවිට තමන්ද සිය සේවයෙන් ඉවත්වන බව පසුගිය වසරේදී ද ක්ලැපර් පවසා තිබුණි.