මීට වසර 13කට පෙර 9/11 ප්‍රහාරයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ ඇමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අද (03දා) යළි සුපුරුදු පරිදි ව්‍යාපාර කටයුතු සඳහා විවෘත වූයේ වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් නමින් ඉදි වූ නවතම ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සමගිනි.
අල්කයිඩා ත්රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාර දෙකකින් 2001 සැප්තැම්බර් 11 වැනිදා මැන්හැට්න් නගරය එකම ගිණිජාලවක් සමග අළු දූලි ගොඩක් බවට පත්කරමින් ඒ යෝධ ගොඩනැගිලි දෙක බිමට සමතලා වූ සිදුවීම ලෝක දේශපාලනය මෙන්ම, ලෝකයේ ගමන් මගද කණපිට හැරවූ සිදුවීමක් විය.
ඒ අළු දූලි මතින් දැවැන්ත එක් ගොඩනැගිල්ලක් ලෙස මහල් 104 කින් සමන්විතව ඉදිවූ වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් ඇ.ඩො.බිලියන 3.8ක මුදලක් වැය වී ඇති අතර, මේ වනවිට ඇමෙරිකාවේ ඇති උසම ගොඩනැගිල්ල ලෙස නම් දරමින් එය ඉදිවීමට වසර 8ක කාලයක් ගත විය.
කෙසේ වෙතත්, මෙම ගොඩනැගිල්ලේ 60% ක ප්‍රමාණයක් දැනටමත් බදු වශයෙන් ලබාදී ඇති අතර, තවත් වර්ග අඩි 275,000ක ප්‍රමාණයක් ඇමෙරිකානු රජයේ පරිපාලන සේවා කටයුතු වෙනුවෙන් ලබාගෙන ඇති බව කියැවෙයි.
අඩි 1,776ක් උසින් යුතු අහස සිඹින ගොඩනැගිල්ල ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රය මධ්‍යයේ ඉදිකර ඇති අතර, ත්රස්තවාදීන් විසින් පුපුරවා හැරි පැරණි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් කුලුණු දෙකේ මතකයන් සිහි කැඳවන කෞතුකාගාරයද එම පරිශ්‍රයේම දැකිය හැකිය.
නවතම ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වූ මහජන නැරඹුම් මැදිරියද තව නොබෝදිනකින්ම ජනතාව වෙනුවෙන් විවෘත වීමට නියමිතය.