(UPDATE) ඇමෙරිකාවේ, බැට්න් රෆ් හිදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඝාතනය කළ තැනැත්තා හිටපු මැරීන් භටයෙකු මෙන්ම, ඉස්ලාම් ජාතිකත්ව සංවිධානයේ සාමාජිකයෙකු බවත් අනාවරණය වී තිබේ.
ගෙවින් ඉයුජීන් ලෝන් නමැති මොහු තමාගේ 29 වැනි උපන්දිනයදා මෙම ප්‍රහාරය දියත් කර ඇති බව අනාවරණය වන අතර, ඔහු මිසුරි ප්‍රාන්තයේ, කන්සාස් නගරයේ ජීවත් වූ කළු ජාතිකයෙකු බව සී.බී.එස්. පුවත් සේවය පවසයි.
ඔහු සිද්ධිය වූ ස්ථානයේදීම පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය. කෙසේ වෙතත්, මුලින් මෙම ප්‍රහාරයට තවත් පිරිසක් සම්බන්ධ යැයි විශ්වාස කෙරුණත්, මෙය මොහු තනිව මෙහෙයවූ ප්‍රහාරයක් බව මේ වනවිට අනාවරණය වෙමින් පවතී.
මෙම තැනැත්තා මෙම ප්‍රහාරයට පෙර අන්තර්ජාලය තුළ වීඩියෝ කිහිපයක්ම ඉදිරිපත් කරමින් කළු ජාතිකයන්ට සිදුවන හිරිහැර කිරීම් හා පොලිසියට එරෙහිව සිදුවන විරෝධතා ව්‍යාපාර ගැන කතා කර තිබේ. ඔහු පසුගිය ජූලි 05 වැනිදා පොලිස් වෙඩි පහරින් බැට්න් රෆ් හිදී ජීවිතක්ෂයට පත්වූ ඇල්ටන් ස්ටර්ලිං ගැනද තම වීඩියෝවල කතා කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, තවත් විඩියෝවල ඉස්ලාමීය ජාතිකත්ව සංවිධානය හෙවත් ඇමෙරිකානු ඉස්ලාමීය ව්‍යාපාරය සමග ඔහුගේ පවතින සම්බන්ධය කියාපාන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම ප්‍රහාරකයා කෙටි කලක් ඇලබාමා විශ්වවිද්‍යාලයේද අධ්‍යාපනය ලැබූවෙකු බවද කියයි.
ඇමෙරිකාවේ, ලුසියානා ප්‍රාන්තයේදී පොලිස් නිලධාරීන් වෙත එල්ල කරන ලද ප්‍රහාරයකින් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ඇමෙරිකාව තුළ ඇවිලී යන වර්ගවාදී ගැටුම්වල තවත් උච්චතම අවස්ථාවක් ලෙස ලුසියානු ප්‍රාන්තයේ, බැටන් රෆ් හි ඕල්ඩ් හැමන්ඩ් අධිවේගී මාර්ගය ආසන්න, ගුවන්තොටුපොළ අධිවේගයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
මෙම ප්‍රහාරය එල්ල කළ එක් සැකකරුවෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, රෝහල්ගත කළ නිලධාරීන්ගෙන් අයෙකුගේ තත්ත්වය බරපතල බවද කියැවෙයි.
මේ අතර, ප්‍රහාරය සිදුකළ තවත් දෙදෙනෙකු අල්ලා ගැනීම සඳහා පොලීස් මෙහෙයුම් සිදුවන බවද විදෙස් වාර්තා පවසයි.
කළු ජාතික ඇල්ටන් ස්ටර්ලිං නැමැත්තා මීට පෙර බැටන් රෆ් හිදී පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, ඔහුගේ මරණයද පසුගිය සති කිහිපය පුරා ඇමෙරිකාව තුළ වර්ගවාදී ගැටුම් උත්සන්න කළේය.
වෙඩි තැබීම සිදුකළ ගෙවින් ඉයුජීන් ලෝන්