ඇමෙරිකාවේ හිටපු ලෝක ශූර කෙටි දුර ධාවක ටයිසන් ගේ 15 හැවිරිදි දියණිය වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, අවන්හලක රථ ගාලක සිදුවූ වෙඩි තැබීමකට මැදිව ට්‍රිනිටි ගේ වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, ඉන් ඇගේ බෙල්ලට තුවාල සිදුව තිබූ බවත් ලෙක්සිංටන් පොලීසිය කියයි.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී ඇය වහා රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණත්, පසුව ඇය මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසා තිබුණි.
ඒ වනවිට ලෙක්සිංටන් හි පදිංචිව සිටි ටයිසන් ගේ සිය දියණියගේ වියෝව එරට ලෙක්ස් 18 රූපවාහිනිය ඔස්සේ තහවුරු කර තිබුණි.
ඇමෙරිකානු මීටර් 100 වාර්තාවට හිමිකම් කියන ටයිසන් ගේ, උසෙන් බෝල්ට්ට පසුව දෙවනුවට මීටර් 100 වේගවත්ම කාලය වාර්තා කළ ක්‍රීඩකයෙක්ද වෙයි.
එමෙන්ම, ඔහුගේ දියණිය ට්‍රිනිටි ගේ දක්ෂ ක්‍රීඩිකාවක වන අතර, ඇය ලෆායෙට් උසස් විද්‍යාලයේ මළල ක්‍රීඩාවලට සම්බන්ධ වී සිටි බවද විදෙස් වාර්තා පවසයි.
කුක් අවුට් අවන්හල් රථ ගාලේ පැවති මෝටර් රථ දෙකක සිටි පිරිසක් විසින් එකිනෙකා වෙත එල්ල කරගන්නා ලද වෙඩි ප්‍රහාරයකට ඇය මැදිව තිබුණු අතර, ඇය එම මෝටර් රථවල නොසිටි බවත්, ක්ෂණිකව ඇය රෝහල්ගත කිරීමට කටයුතු කළ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසා තිබුණි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවන බව ලෙක්සිංටන් පොලීසිය පවසයි.