බස්නාහිර පළාත් සභාව 2016 වසර සඳහා ඉදිරිපත් කළ මුදල් ප්‍රකාශය (වාර්ෂික අයවැය ලේඛනය) වැඩි ඡන්ද 83කින් ඊයේ (22දා) සම්මත විය.
එහෙත් පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යාංශය සඳහා විෂය භාර අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඉදිරිපත් කළ වැය ශීර්ෂය පරාජයට පත්විය.
පළාත් සභා ඉතිහාසයේ ඒ ආකාරයට වැය ශීර්ෂයක් පරාජයට පත් වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඉදිරිපත් කළ වාර්ෂික අයවැය ලේඛනය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ප්රජාතන්ත්රවාදී පක්ෂය එක්ව ඡන්ද 89 ක් පක්ෂව ලබාදුන් අතර, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හයදෙනා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
එහෙත් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වැය ශීර්ෂය සඳහා විරුද්ධව ඡන්ද 45 ක් ප්‍රකාශ වෙද්දී පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 23 ක් පමණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප්රජාතන්ත්රවාදී පක්ෂය ඊට එරෙහිවද, එක්සත් ජාතික පක්ෂය සහ පළාත් ඇමතිවරුන් ඊට පක්ෂවද ඡන්දය ප්‍රකාශ කළහ.
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඉදිරිපත් කළ එම වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසන අවස්ථාවේදී ජාතික හෙළ උරුමයේ තෙඹුවන පියනන්ද හිමි සහ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සභාවෙන් පිටත සිටි අතර, එක්සත් ජාතික පක්ෂයේ උදාර රත්නායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරුද්ධ ලේකම්ගේ ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
පළාත් සෞඛ්‍ය විෂයයට අදාළ වැය ශීර්ෂය පරාජයට පත්වීම නිසා 2016 වසරේදී එම අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවල සේවකයන්ට වැටුප් ගෙවීම් ඇතුළු මුදල් වැය කිරීම්වලට අදාළව ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන බැවින් ආණ්ඩුකාර සී. ලෝගේෂ්වරම් මහතා සමග සාකච්ඡා කර එයට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සභාව අමතමින් සඳහන් කළේය.
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඉදිරිපත් කළ වැය ශීර්ෂයට අදාළව ඡන්දය විමසන අවස්ථාව දැනුම් දීම සඳහා සීනුව නාද කිරීම තමන්ට ශ්‍රවණය නොවූ බවත්, එබැවින් එම වැය ශීර්ෂයට ඡන්දය භාවිත කිරීම වැළකී ගිය බවත් ඒ මහතා පවසා සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වැය ශීර්ෂයේ ඇති අඩුපාඩු සහ ඇමතිවරයා මන්ත්‍රීවරුන් සමග සුහදව කටයුතු නොකිරීම යන කාරණා හේතුවෙන් එම වැය ශීර්ෂය පරාජය කළ බව මන්ත්‍රීවරු සභාව අමතමින් කියා සිටියහ.
එහෙත් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් වූ රැකියා අවස්ථා ක්‍රමවේදයෙන් බැහැරව ලබා නොදීමට තමන් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බවයි.