වත්මන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහුගේ අමාත්‍ය ධුරයක් ලබාගන්නා ලෙස තුන් හතර වතාවක් බලකර සිටි බවත්, එහෙත් හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ල.නි.පයේ
සභාපති ධුරය සිරිසේන මහතාට ලබා දෙනතුරු තමන් ඇතුළු කිහිප දෙනෙකුම අමාත්‍ය ධුර ලබා නොගැනීමට තීරණය කළ බව ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. පක්ෂයේ සභාපතිකම මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණ පසු ඒ මහතාට සහාය දැක්වීම සඳහා ඇමති ධුර ලබාගත්තද අද සිටින්නේ ඒ සම්බන්ධයෙන් සතුටකින් නොවන බව ද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහානායක ගලගම අත්තදස්සි නාහිමියන් බැහැදැකීම සඳහා අස්ගිරි මහා විහාරයට පැමිණි අවස්ථාවේදීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂය විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම මගහරිමින් සිටින බවත්, ඊට වෙනත් පාර්ශ්ව යොදවමින් විරෝධතා දක්වමින් සිටින බවත්ය.
දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා තමන් ඇතුළු පිරිස සහාය දැක්වූයේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් කෙරෙහි පූර්ණ විශ්වාසය තබා බව පැවසූ අමාත්‍යවරයා විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය විශ්වාසය කඩ නොකර සහාය දැක්විය යුතු බව පැවසීය.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසු නව ඡන්ද ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පවත්වා ඒ සමගම මහ මැතිවරණයද පවත්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කරන බව දිසානායක මහතා සඳහන් කළේය.
නව ඡන්ද ක්‍රමය සකස් කරන කැබිනට් අනුකාරක සභාවේ තමන්ද සිටි බව පැවසූ අමාත්‍යවරයා, විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට එරෙහිව කකුලෙන් ඇදීම අනුමත කළ නොහැකි බවද පවසා සිටියේය.
වත්මන් ජනාධිපතිවරයා පක්ෂයෙන් ඉවත් කර සිටියදී ජනාධිපතිවරණයට ඉදිරිපත්ව එය ජය ගැනීම සම්බන්ධයෙන් නීතිමය ගැටලු ඇති බව පැවසූ අමාත්‍යවරයා එහෙත් ජනාධිපතිවරයා මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් දිවුරුම්දී ඇති බැවින් ඒ මහතාට එරෙහිව දඬුවම් කළ නොහැකි බව සඳහන් කළේය.